Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st January 2025 18:18:46 Hours

යුද්ධ හමුදා මූලස්ථානය සම්ප්‍රදායානුකූලව 2025 නව වසරේ වැඩ කටයුතු අරඹයි

2025 වර්ෂයේ පළමු වැඩකරන දිනය සනිටුහන් කරමින් ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී බදාදා (ජනවාරි මස 01) දින උදෑසන උත්සවයක් පවත්වනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ පැමිණීමත් සමඟ උත්සවයේ සමාරම්භය සනිටුහන් කෙරිණි. අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සමඟින් ජාතික කොඩිය සහ යුද්ධ හමුදා කොඩිය ඔසවනු ලැබූහ.

මෙම අවස්ථාවට සහභාගී වූ සියළු නිලයන් විසින් ජාතික ගීය සහ යුද්ධ හමුදා ගීය ගායනා කිරීමෙන් අනතුරුව මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පැවැත්වීය. ඉන් අනතුරුව, යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී ගේ මූලිකත්වයෙන් රාජ්‍ය ප්‍රතිඥාව (Clean Sri Lanka) කියවීම සිදුකෙරිණි.

අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කරමින් අතිගරු ජනාධිපතිතුමන්, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතුමන් සහ ආරක්‍ෂක ලේකම්තුමන් දැක්වූ සහයෝගය වෙනුවෙන් සිය කෘතවේදීත්වය පුදකළේය. රණවිරුවන්ගේ කැපකිරීම් පිළිබඳව සිහිපත් කළ එතුමන්, යුද්ධ හමුදාවේ විනය, අඛණ්ඩතාව සහ නවීකරණයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළ අතර, අඛණ්ඩ ජාතික සංවර්ධනයේ වැදගත්කම ද පෙන්වා දෙමින් සමාජ ආකල්ප, විනය සහ ඵලදායිතාවයේ ධනාත්මක වෙනසක් සඳහා වූ ජාතික සැලැස්මක් වන ‘Clean Sri Lanka’ වැඩසටහන ආරම්භ කිරීමට පූර්ණ සහයෝගය දැක්වීමේ අවශ්‍යතාවය ද මෙහිදී අවධාරණය කළේය. ඉන් අනතුරුව, එතුමන් සියළුම හමුදා සාමාජිකයන්, සිවිල් සේවක මහත්ම මහත්මීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත සතුට සහ සෞභාග්‍යය සපිරි නව වසරක් වෙනුවෙන් සිය සුබපැතුම් පිරිනැමීය.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් සියළු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වෙමින් සියළු නිලයන් සමඟින් සුහඳ පිළිසඳරක නිරතවිය. අනතුරුව, නව වසරේ රාජකාරී ආරම්භ කිරීමට ප්‍රථම ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමිපාණන්ගේ මූලිකත්වයෙන් ආගමික වතාවත් පැවැත්වීමේ අවස්ථාවට ද යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මිය සහභාගි වූහ.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.