Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st December 2024 17:44:55 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 25 වන යුද්ධ හමුදාධිපතිවරයා ලෙස ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී ධූරයේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී අඟහරුවාදා (31) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති හමුදා සම්ප්‍රදායානූකූල උත්සවයකදී 25 වන යුද්ධ හමුදාධිපති ලෙස නව ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.

යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී වෙත ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකල අතර, යුද්ධ හමුදා මූලස්ථාන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩී.කේ.ආර්. පෙරේරා විසින් ප්‍රධාන දොරටුව අභියසදී එතුමන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විධායක ජෙනරාල් මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී විසින් නව යුද්ධ හමුදාධිපතිතුමන්ව උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකිරීම සඳහා එතුමන්ව විශේෂ පීඨිකාව වෙත කැටුව යන ලදී. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් නව යුද්ධ හමුදාධිපතිතුමන් සම්භාවනීය අමුත්තන් සමඟින් සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනීසිටියේය.

අනතුරුව, හමුදාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන දොරටුව වෙත සපැමිණි නව යුද්ධ හමුදාධිපතිතුමන් මල් පූජා කර බුදුන් වන්දනා කරනු ලැබිණි. පසුව, ආගමික වතාවත් ආරම්භ කිරීමට ආරාධනා කරමින් එතුමන්ගේ සුරතින් ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි නායක හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නය වෙත සාම්ප්‍රදායික දැහැත් වට්ටිය පිළිගැන්වීය.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නව යුද්ධ හමුදාධිපතිතුමන් රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තැබීය. එම අවස්ථාව සඳහා එතුමන්ගේ භාර්යාව වන ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයින් ද එක්ව සිටියහ.

ඉන් අනතුරුව, නව යුද්ධ හමුදාධිපතිතුමන් මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික පූජකවරුන්ගෙන් ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මහා සංඝරත්නය වෙත ‘පිරිකර’ පූජාකරමින් කතෝලික, හින්දු හා ඉස්ලාම් පූජකවරුන් වෙත ත්‍යාග පිරිනමනු ලැබීය.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් යුද්ධ හමුදා මූලස්ථාන බහුකාර්යය ශාලාවේදී හමුදා සම්ප්‍රදායානුකූලව තේ පැන් සංග්‍රහයක් පැවැත්විණි. අනතුරුව, නව යුද්ධ හමුදාධිපතිතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කරමින් අනාගත අභිවෘද්ධිය උදෙසා එතුමන් සතු දැක්ම සහ අදහස් පිළිබඳ පැහැදිළි කළේය.

නව යුද්ධ හමුදාධිපතිතුමන් පිළිබඳ කෙටි හැදින්වීමක් පහතින් දැක්වේ:

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී 2024 දෙසැම්බර් මස 31 දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 25 වන යුද්ධ හමුදාධිපති ලෙස ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී. සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන් විසින් එතුමන් ලුතිනන් ජෙනරල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති ධූරය සඳහා පත්කරනු ලැබීය.

යුද්ධ හමුදාධිපති ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන ධූරය හෙබවීය.

කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ අභිමානවත් ආදි ශිෂ්‍යයෙකු වන ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී සිය පාසල් සමය තුළදී අධ්‍යයන කටයුතු සහ විෂය බාහිර ක්‍රියාකාරකම් තුළින් විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූවෙකි. එතුමන් පාසල් කාලය තුළදී අඛණ්ඩව වසර තුනක් පුරාවටම දීප්තිමත්ම ක්‍රීඩකයා සහ විද්‍යාලීය ශිෂ්‍ය නායකයෙකු ලෙසත් සිය දක්‍ෂතා එළිදැක්වීය. පාසල් ක්‍රිකට්, පැසිපන්දු සහ රග්බි කණ්ඩායම්වල නායකත්වය දැරූ එතුමන් පාසල් මළල ක්‍රීඩා කණ්ඩායමේ ද සාමාජිකයෙකු විය.

වර්ෂ 1989 ජනවාරි මස 20 දින කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 31 (ඉන්දියාව) යටතේ කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය සහ ඉන්දියානු යුද්ධ හමුදා විද්‍යාපීඨය තුළින් මූලික කෙඩෙට් පුහුණුව සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව වෙත අනුයුක්ත කරනු ලැබීය.

වසර 36 ක කීර්තිමත් යුද්ධ හමුදා දිවිය තුළදී එතුමන් යුද්ධ හමුදාව තුළ අණ, මාණ්ඩලික සහ උපදේශක ධූරයන් රැසක් හොබවා ඇත. ඒ අනුව, එතුමන් මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ නිලධාරි උපදේශක, ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II (බුද්ධි/ආරක්‍ෂක), 53 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II (ක්‍රියා), 22 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (ක්‍රියා) සහ තොප්පිගල හා මන්නාරම ප්‍රදේශයන්හි මානුෂීය මෙහෙයුම පැවති කාලසීමාවේ 18 (ආධාරක) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි වශයෙන් කටයුතු කරමින් මානුෂීය මෙහෙයුමෙන් අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීමට කටයුතු කරන ලදී.

එමෙන්ම, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිලධාරි අධ්‍යයන අංශයේ පුහුණු කණ්ඩායම් ප්‍රධානි හා ප්‍රධාන උපදේශක, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපදේශක හා එම විද්‍යාලයේ පුහුණු කණ්ඩායම් ප්‍රධානි වශයෙන් ද එතුමන් සේවය කරනු ලැබීය.

පූනරින් ප්‍රදේශයේ ස්ථාපිත 663 සහ 661 පාබල බලසේනාවන්හි බලසේනාධිපති ධූරය හොබවමින් එතුමන් 2018 සහ 2019 වර්ෂයන්හිදී ජාතිය ගොඩනැඟීම, ප්‍රතිසංස්කරණය සහ සංහිඳියාව වෙනුවෙන් ද සිය දායකත්වය ලබාදෙනු ලැබීය. එමෙන්ම, යුද්ධ හමුදා මූලස්ථානයේ විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ වශයෙන් කටයුතු කළ එතුමන් පසුව පූනරින් ප්‍රදේශයේ ස්ථාපිත 66 පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරය හෙබවූ අතර, එහිදී එතුමන් සංහිඳියාව, නැවත ගොඩනැඟීම සහ නීතිය හා සාමය පවත්වාගෙන යාම වෙනුවෙන් ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරන ලදී.

තවද, එතුමන් ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක, ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක හා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන වැනි ප්‍රධාන ධූරයන් ද හෙබවීය.

මනා පුහුණුව සහ වෘත්තීය සංවර්ධනය තුළින් සිය දැනුම පුළුල් කරගත් ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ මූලික කෙඩෙට් නිලධාරි පාඨමාලාව සහ මාදුරුඔය, ඛණ්ඩභාර නිලධාරි පාඨමාලාව ඇතුළු දේශීය පාඨමාලා රැසක් සාර්ථකව හදාරා ඇත.

එමෙන්ම, කෙඩෙට් නිලධාරි පාඨමාලාව - ඉන්දියාව, කාලතුවක්කු තරුණ නිලධාරි පාඨමාලාව - ඉන්දියාව, නිලධාරි ශාරීරික පුහුණු පාඨමාලාව - ඉන්දියාව, නිලධාරි ඉලක්කපත් හසුකරගැනීමේ පාඨමාලාව (OL-52) - පාකිස්ථානය, උසස් කාලතුවක්කු ක්ෂේත්‍ර පාඨමාලාව 1575 - ඉන්දියාව, දීර්ඝ කාලතුවක්කු මාණ්ඩලික පාඨමාලාව - ඉන්දියාව, කාලතුවක්කු බලඇණි අණදෙන්නන්ගේ පාඨමාලාව - චීනය සහ උසස් ආරක්‍ෂක දිශානති පාඨමාලාව - ඉන්දියාව වැනි විදේශීය පාඨමාලාවන් රැසක් ද එතුමන් විසින් සාර්ථකව හදාරා ඇත.

ඇමරිකා එක්සත් ජනපදයේ, වොෂින්ටන් ඩීසී ප්‍රදේශයේ පිහිටි ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපායමාර්ගික ආරක්‍ෂක අධ්‍යයනය පිළිබඳ කලාවේදී ශාස්ත්‍රපති උපාධිය (2019–2020) සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක හා උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ විද්‍යාවේදී ශාස්ත්‍රපති උපාධියක් ද එතුමන් ලබාගෙන ඇත. මීට අමතරව, ඇමරිකා එක්සත් ජනපදයේ, වොෂින්ටන් ඩීසී ප්‍රදේශයේ පිහිටි ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලය තුළින් එක්සත් ජනපද ඒකාබද්ධ වෘත්තීය හමුදා අධ්‍යයන අදියර II සහ ජ්‍යෙෂ්ඨ මට්ටමේ අධ්‍යයන ඩිප්ලෝමාව, ඉන්දියාවේ කාලතුවක්කු පුහුණු පාසලේ දිර්ඝ කාලතුවක්කු මාණ්ඩලික පාඨමාලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ (වත්මන් ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය) උපාධිය සහ ඉන්දියාවේ, ඩෙහ්රාඩුන් ප්‍රදේශයේ පිහිටි ඉන්දියානු යුද්ධ හමුදා විද්‍යාපීඨයේ උපාධිය ඇතුළු උසස් අධ්‍යාපනික සුදුසුකම් ද එතුමන් සපුරා ඇත.

මානුෂීය මෙහෙයුමේදී සතුරා හමුවේ නිර්භීතව කටයුතු කළ එතුමන් රණශූර පදක්කමෙන් පිදුම් ලබා ඇත. එමෙන්ම, නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම, උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම, පූර්ණ භූමි පදක්කම, උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම, රිවිරැස මෙහෙයුම් පදක්කම, 50 වන නිදහස් සංවත්සර පදක්කම, 75 වන නිදහස් සංවත්සර සමරු පදක්කම, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 50 වන සංවත්සර පදක්කම, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර පදක්කම, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම, සේවාභිමානි පදක්කම සහ සේවා පදක්කම වැනි පදක්කම් වලින් එතුමන් පිදුම් ලබා ඇත.

ඇමරිකා එක්සත් ජනපදයේ, වොෂින්ටන් ඩීසී ප්‍රදේශයේ පිහිටි ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ පැවති ජාත්‍යන්තර ත්‍රස්ත මර්ධන වැඩසටහනේ ජාත්‍යන්තර ශිෂ්‍ය කමිටුවේ සභාපති ධූරය හෙබවූ එතුමන් 2020 වර්ෂයේදී එම වැඩසටහනේ හොඳම විදේශීය ශිෂ්‍යයාට හිමි සම්මානය දිනාගැනීම එතුමන් සිය වෘත්තීය දිවිය තුළදී ලැබූ සුවිශේෂී ජයග්‍රහණයන් වේ.

ජ්‍යෙෂ්ඨත්වය මත නිලධාරින් සුළු පිරිසකට පමණක් හිමිගැන්වෙන ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක ධූරයේ රාජකාරි කළ වසර තුනක කාලසීමාව තුළදී එතුමන් මිත්‍රශීලී රටවල් 11 ක විදේශීය හමුදා නිලධාරින් 75 දෙනෙකු මෙන්ම, යුද්ධ, නාවික සහ ගුවන් හමුදාවන්හි මේජර් හා ඒ හා සමාන නිලයන් දරණ මධ්‍යම ශ්‍රේණියේ නිලධාරින් 450 කට ආසන්න සංඛ්‍යාවකගේ පුහුණු කටයුතු සාර්ථකව අවසන් කිරීමට කටයුතු කරනු ලැබීය.

එමෙන්ම, 2023 සහ 2024 වර්ෂයන්හිදී බංගලාදේශයේ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පීඨ සහ ශිෂ්‍ය නිලධාරින් සඳහා “ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාව සතු අත්දැකීම්” යන තේමාව ඔස්සේ සම්මන්ත්‍රණයක් පැවැත්වීම සඳහා එතුමන්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලීය විශේෂ නියෝජිත පිරිසක් සහභාගී විය.

ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මිය සමඟ විවාහ දිවියට එළඹ සිටින එතුමන් ආදරණීය පුතණුවෙකු සහ දියණියන් දෙදෙනෙකුගේ ආදරණීය පියාණන් වේ (අවසන්).