Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th December 2024 12:48:24 Hours

ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධාන වෙත ගජබා රෙජිමේන්තුවේ ගෞරවාචාරය

ධූරයෙන් නික්ම යන ගජබා රෙජිමේන්තුවේ කීර්තිමත් සාමාජිකයෙකු වන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධාන ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල් වෙත 2024 දෙසැම්බර් මස 29 දින ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පවත්වනු ලැබීය. එහිදී, ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානතුමන්ව රෙජිමේන්තු පරිශ්‍රය වෙත උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියසදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධාන විසින් දිවංගත රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකිරීමෙන් අනතුරුව, එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීය.

පසුව, ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ වන දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී වෙත ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධාන විසින් සිය ගෞරවාචාරය පුදකළේය. අනතුරුව, රෙජිමේන්තුවේ අභිමානය විදහා දක්වමින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන පෙළපාළියේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනැමිණි.

උත්සව අවස්ථාව සඳහා සහභාගී වූවන් සමඟ සමූහ ඡායාරූපයකට එක් වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධාන මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

එදින සන්ධ්‍යාවේදී, ගජබා රෙජිමේන්තු නිලධාරි නිවස්නයේදී හමුදා සම්ප්‍රදායානුකූල සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.

ගෞරවාන්විතව සේවයේ නියුතු ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධාන වෙත සමුදීමේ අරමුණින් එම රෙජිමේන්තු භටපිරිස් විසින් මෙම උත්සවය සංවිධානය කෙරිණි.