Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th December 2024 00:47:08 Hours

විශ්‍රාම දිවියට එළඹෙන යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ගජබා රෙජිමේන්තුවේ ගෞරවාචාරය

විශ්‍රාම දිවියට එළඹෙන ගජබා රෙජිමේන්තුවේ අභිමානවත් සාමාජිකයෙකු වන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 දෙසැම්බර් මස 29 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මෙම උත්සවය එතුමන්ගේ ආදර්ශමත් සේවයට ගෞරව දැක්වීම සහ කෘතඥතාවය පුදකිරීමේ වැදගත් අවස්ථාවක් සනිටුහන් කරනු ලැබිණි.

විශ්‍රාම ලබන යුද්ධ හමුදාධිපතිතුමන් එම රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියසදී දිවංගත රණවිරුවන් වෙනුවෙන් පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව, උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් එම රෙජිමේන්තු භටපිරිස් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීය. අනතුරුව, ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ වන දිවංගත මේජර් ජෙනරල් ඩබ්ලිව්.අයි.වී.කේ.එම්. විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී වෙත උපහාර දැක්වීම වෙනුවෙන් එතුමන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර පුදකරනු ලැබීය. පසුව, රෙජිමේන්තුවේ අභිමානය විදහා දක්වමින් එතුමන් වෙත හමුදා සම්‍ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකරනු ලැබූහ.

ඉන් අනතුරුව, මෙම අවස්ථාව සඳහා සහභාගී වූවන් සමඟින් සමූහ ඡායාරූපයකට සහභාගී වූ යුද්ධ හමුදාධිපතිතුමන් මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

පසුව, පැවති සියළු නිල තේ පැන් සංග්‍රහය අතරතුරදී, විශ්‍රාම දිවියට පා තබන යුද්ධ හමුදාධිපතිතුමන් එම රෙජිමේන්තුවේ නිලධාරින් සහ සෙසුනිලයන් සමඟ සුහද පිළිසඳරක නිරත වෙමින් මතකාවර්ජනය කරනු ලැබීය.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් ගජබා රෙජිමේන්තුවෙන් විශ්‍රාම ලබන යුද්ධ හමුදාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල වීදි පෙළසැදීමේ ගෞරවාචාරය පුදකරමින් එතුමන් වෙත ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සිය සුබපැතුම් පිරිනැමූහ.

මෙම උත්සවය පැවැත්වීමට ප්‍රථම, පෙර දින සන්ධ්‍යාවේදී ගජබා රෙජිමේන්තු නිලධාරි නිවස්නයේදී යුද්ධ හමුදාධිපතිතුමන් වෙනුවෙන් සාම්ප්‍රදායික සමුගැනීමේ රාත්‍රි භෝජන සංග්‍රහයක් පවත්වන ලදී.

සුහඳත්වය හා ගෞරවය සනිටුහන් කරමින් මෙම උත්සවය පැවැත්වූ අතර, ගජබා රෙජිමේන්තුවෙන් විශ්‍රාම ලබන යුද්ධ හමුදාධිපතිතුමාගේ සේවයට ගෞරවාචාර පුදකිරීම සඳහා නිලධාරින්ට එහිදී අවස්ථාව හිමිවූහ.