22nd December 2024 12:09:31 Hours
දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙහි 99 වන විසිර යාමේ පෙළපාලිය 2024 දෙසැම්බර් මස 21 දින අභිමානවත් අයුරින් පැවති අතර, එම උත්සව අවස්ථාවට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් කේ.පී.ඒ. ජයසේකර (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය. එහිදී පුහුණුව සාර්ථකව අවසන් කළ කෙඩෙට් නිලධාරීන් 222 දෙනෙකු අධිකාරියට පත්ව තම මාතෘභූමියේ අභිවෘද්ධිය වෙනුවෙන් විසිර ගියහ..
ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් කේ.පී.ඒ. ජයසේකර (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී, ආර්ඩබ්ලිව්පී (දෙවරක්), ආර්එස්පී (දෙවරක්), යූඑස්පී, එම්එම්එස්සී (යුද උපායමාර්ගික අධ්‍යයනය - චීනය), එම්එස්සී (ආරක්‍ෂක අධ්‍යයන) කළමණාකරන, එම්එස්සී (ආරක්‍ෂක සහ උපායමාර්ගික අධ්‍යයනය), එෆ්එන්ඩීයූ (චීනය), පීඑස්සී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් අධිකාරියට පත් නව නිලධාරීන් වෙත ජනාධිපති අධිකාරියෙහි අසිපත් ප්‍රධානය කරන ලදී..
අධිකාරියට පත් කරන ලද නිලධාරීන් අතරට කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 93 බී, කෙටි කාලීන නිත්‍ය කෙඩෙට් නිලධාරී පාඨමාලාව අංක 21 සහ 22 හැදෑරූ කෙඩෙට් නිලධාරීන් හා විදෙස් රටවල් නියෝජනය කරමින් උගන්ඩාව, කෙන්යාව, ගැම්බියාව සහ සැම්බියාව යන රටවල විදේශීය හමුදා කෙඩෙට් නිලධාරීන් දසදෙනෙකු වූහ. උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් අශ්වාරෝහක භට කණ්ඩායමක් සමඟින් අලංකාරවත් පෙළපාලියකින් ප්‍රධාන ආරාධිත අමුත්තා යුද්ධ හමුදා විද්‍යාපීඨ සරඹ භූමියේ ප්‍රධාන පීඨිකාව වෙත පැමිණි අතර, පසුව යුද්ධ හමුදා විද්‍යාපීඨ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ. පසුව එතුමන් එම විද්‍යාපීඨයේ යුද ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකර, රට වෙනුවෙන් දිවිපිදූ සන්නද්ධ හමුදාවන්හි වීරෝධාර රණවිරුවන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වා ගෞරවාචාර දැක්වීය..
අනතුරුව, මෙම විසිර යාමේ පෙළපාලියේ අණදෙන නිලධාරි මේජර් යූ.බී. මාරසිංහ යූඑස්පී පීඑස්සී උත්සවයේ ඉතිරි කටයුතු සිදුකිරීමට ප්‍රධාන ආරාධිත අමුත්තා වෙතින් අවසර ලබාගන්නා ලදී..
ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් චාරිත්‍රානුකූලව පෙළපාළිය නිරීක්‍ෂණය කරන ලදී. ඉන් අනතුරුව, එතුමන් විසින් එක් එක් පාඨමාලාවන්හි විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ කෙඩෙට් නිලධාරීන් වෙත විශේෂ සම්මාන ප්‍රදානය කරන ලදී..
පාඨමාලාවන්හී විශිෂ්ඨ කුසලතා දැක්වූ කෙඩෙට් නිලධාරීන් පහතින් දැක්වේ.
නිත්‍ය කෙඩෙට් නිලධාරී පාඨමාලාව අංක 93 බී.
පාඨමාලාවේ දක්‍ෂතම කෙඩෙට් නිලධාරියාට හිමි සම්මානය - බලඇණි මෙහෙයුම් නිලධාරී ඩී.ආර්.කේ ජයකොඩි.
ගෞරවණීය අසිපත සඳහා වූ ගෞරව සම්මානය - බලඇණි මෙහෙයුම් නිලධාරී ඩී.ආර්.කේ ජයකොඩි.
ගෞරවණීය යෂ්ඨිය සඳහා වූ ගෞරව සම්මානය - කෙඩෙට් ලාන්ස් කෝප්‍රල් කේ. හුසාන් (උගන්ඩා ජනරජය).
කෙටි කාලීන නිත්‍ය කෙඩෙට් නිලධාරි පාඨමාලාව අංක 21.
පාඨමාලාවේ දක්‍ෂතම කෙඩෙට් නිලධාරියාට හිමි සම්මානය - කැඩෙට් නිලධාරී ජී.ඒ.පී. හේරත්.
ගෞරවණීය යෂ්ඨිය සඳහා වූ ගෞරව සම්මානය - කැඩෙට් නිලධාරී ඒ. බ්ලූනෝ (උගන්ඩා ජනරජය).
කෙටි කාලීන නිත්‍ය කෙඩෙට් නිලධාරි පාඨමාලාව අංක එස්සී 22.
පාඨමාලාවේ දක්‍ෂතම කෙඩෙට් නිලධාරියාට හිමි සම්මානය - ඛණ්ඩ මෙහෙයුම් නිලධාරී කේ.එම්.එස්. හේරත්.
ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් අධිකාරියට පත් නිලධාරීන් අමතමින් ප්‍රථමයෙන් ඔවුන් වෙත සුභ පැතුම් එක්කිරීමෙන් අනතුරුව, වගකීමෙන් හා කාර්යක්‍ෂමව තම රාජකාරිය ඉටු කරන ලෙස උපදෙස් ලබාදෙනු ලැබුණි.
අවසානයේදී, අධිකාරියට පත් වූ නිලධාරීන් යුද්ධ හමුදා විද්‍යාපීඨයේ විධායක අධිකාරිතුමන් සමඟින් මකර තොරණෙහි පියගැටපෙළ නැඟ මෙතෙක් ඔවුන් පුහුණුව ලැබූ සරඹ භූමිය තුලින් අභිමානවත් ලෙස පා ගමනින් විසිර යන ලදී.
පෙළපාලිය අවසන් වීමෙන් පසුව නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යතුමන් යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක මේජර් ජෙනරල් යූ.එල්.ජේ.එස්. පෙරේරා ආර්එස්පී යූඑස්පී පීඑස්සී සමඟින් සිනෝ ලංකා මිත්‍රත්ව ශ්‍රවණාගාරයේදී ජනාධිපති අධිකාරියට පත් නිර්භීත නිලධාරීන් වෙත ආදරණිය දෙමාපියන්ගේ සුරතින් තම උරහිස් මත නිල පැළඳවීමේ (Pipping Ceremony) අභිමානවත් අවස්ථාවට එක් වූහ.
විසිර යාමේ පෙළපාලිය අවසන්කරන ලද අධිකාරියට පත් නව නිලධාරීන්ගේ හමුදා සාම්ප්‍රදායානුකූල රාත්‍රී භෝජන සංග්‍රහය එදින සන්ධ්‍යාවේ කෙඩෙට් නිලධාරී භෝජනාගාරයේදී පැවැත්විණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම්වරයා සහභාගී වූ අතර, ඊට සම්භාවනීය අමුත්තන් රැසක් සහ අධිකාරියට පත් නව නිලධාරීන් ද සහභාගී වූහ.
මෙම උත්සව අවස්ථාවට ආරක්‍ෂක ලේකම්වරයාගේ භාර්යාව වන ආචාර්ය රුවිනි රසිකා පෙරේරා මහත්මිය, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන්, විශ්‍රාමික යුද්ධ හමුදාධිපතිවරුන්, විදේශීය ආරක්‍ෂක උපදේශකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ භාර්යාවන් සහ කෙඩෙට් නිලධාරීන්ගේ පවුලේ සාමාජිකයින් සහභාගී වූහ.