Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th October 2024 21:19:12 Hours

යුද්ධ හමුදා සංවත්සර දින රාත්‍රී භෝජන සංග්‍රහය පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේදී

යුද්ධ හමුදා දිනය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලු නිලයන් අතර සුහදත්වය සහ සහයෝගීතාවය ඇතිකිරීමේ අරමුණින් පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේදී බ්‍රහස්පතින්දා (10) දින විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 25 නියෝජනය කරමින් සාමාජිකයන් සහභාගී වී සිටි අතර, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.

යුද්ධ හමුදා සංවත්සර සැමරුම වෙනුවෙන් 2009 වර්ෂයේ සිට පැවැත්වෙන මෙම සියලු නිල රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා සහභාගී වන සියලුම යුද්ධ හමුදා සාමාජිකයින් එහිදී, සිය යුද්ධ හමුදා දිවියේ ඵලදායී සාධකයන් පිළිබඳ අදහස් හුවමාරු කරගැනීමටත් එකිනෙකා අතර සුහදත්වය වර්ධනය කරගැනීමටත් කටයුතු කරනු ලබයි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දින සැමරුමේ එක් සුවිශේෂී අංගයක් ලෙස මෙම රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වේ.

මෙම අවස්ථාව සඳහා සහභාගී වූ යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කර්නල් සේනාවිධායකවරුන් සහ රෙජිමේන්තු අධිපතිවරුන් භටපිරිස් සමඟ සුහඳව අදහස් හුවමාරු කරගනිමින් ඔවුන් අතර පවතින බැඳීම් තවදුරටත් ඉහළ නංවාගැනීමට කටයුතු කරනු ලැබීය. පසුව, භටපිරිස් අසුන්ගෙන සිටි ස්ථානයන් වෙත ගිය යුද්ධ හමුදාධිපතිතුමන් විවිධ රෙජිමේන්තු නියෝජනය කරනු ලබන රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් වෙත මුල් දින කවරය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දින මුද්දරය ඔවුන් වෙත පිරිනැමීය. එමෙන්ම, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසය පුරාවට කල්පවත්නා වටිනාකම, පක්‍ෂපාතීත්වය, අනුපමේය සේවය සහ යුද්ධ හමුදා දිවිය පිළිබඳ මතකාවර්ජනය කිරීම සඳහා මෙය අවස්ථාවක් වනු ඇත. මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් සහභාගී වන යුද්ධ හමුදා සාමාජිකයන් ජාතික ආරක්‍ෂාව සහ යහපැවැත්ම සඳහා කැප වූ බලවේගයක් වශයෙන් කටයුතු කරනු ලබන බව ද පෙන්වා දෙයි.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්, රෙජිමේන්තු අධිපතිවරුන්, කර්නල් සේනාවිධායකවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.