Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th October 2024 05:55:48 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දින සැමරුම අභිමානවත් අයුරින් සැමරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර සැමරුම අද (ඔක්තෝබර් මස 10) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේදී උත්කර්ශවත් අයුරින් සමරනු ලැබීය. යුද්ධ හමුදා ඉතිහාසයේ සංධිස්ථානයක් ලෙස සැලකෙන මෙම සංවත්සර දිනය දශක තුනකට අධික කාලයක් පුරාවට අනේකවිධ ගැටළුවලට මුහුණ දී ජාතියට තිරසාර සාමයක් උදාකර දීම වෙනුවෙන් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා වූ යුද්ධ හමුදා සාමාජිකයන්ගේ කැපවූ සේවය පෙන්නුම් කරයි. ජාතික ආරක්‍ෂාව සහතික කිරීම වෙනුවෙන් ඉදිරිපෙළ කටයුතු කිරීම සඳහා තම කාර්යභාරය අඛණ්ඩව ඉටු කිරීමට යුද්ධ හමුදාව ප්‍රතිඥා දී ඇත.

යුද්ධ හමුදා ධජය, රෙජිමේන්තු ධජයන් සහ අනෙකුත් යුද්ධ හමුදා ආයතනයන්හි ධජයන් ලෙලදෙමින් විචිත්‍රවත් උත්සවයක් මෙදින පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා පාබල හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම රෙජිමේන්තු භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ.

ඉන් අනතුරුව, එතුමන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය සමඟින් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු සරඹ භූමියේ ප්‍රධාන දොරටුව වෙත පැමිණියේය. එහිදී, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී විසින් එතුමන්ව උණසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා ධජය එසවීය.

ඉන් අනතුරුව, යුද්ධ හමුදා ගීතය ගායනා කිරීමෙන් පසුව දිවංගත වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීය. ඔවුන්ගේ නිර්භීතකමේ සහ පරිත්‍යාගයේ උරුමය යුද්ධ හමුදා වංශකථාව තුළ අමරණිය ලෙස රැඳී පවතින අතර එය ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරයි.

ආරක්‍ෂක සේනා ආඥාපති බටහිර සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහ ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජී.ඒ.ටී. ගොඩේවත්ත ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙවර යුද්ධ හමුදා සංවත්සර දින පෙළපාලිය සඳහා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 25 නියෝජනය කරමින් නිලධාරීන් 75 දෙනෙකු සහ සෙසුනිලයන් 626 දෙනෙක් යුද්ධ හමුදා වර්ණ සමඟින් සහභාගී වූහ.

ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් පෙළපාලිය පරික්‍ෂා කිරීමෙන් අනතුරුව, භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ගෞරවාචාර පුදකළහ. 75 වන යුද්ධ හමුදා සංවත්සර දින පදක්කම පිළිබඳ දැනුවත් කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන්, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන ගේ සුරතින් තෝරාගත් නිලධාරීන් 35 දෙනෙකු සහ සෙසුනිලයන් 25 දෙනෙක් වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදා 75 වන සංවත්සර දින සැමරුම් පදක්කම පැළඳවීය.

ඉන් අනතුරුව, පසුගිය වසර තුළ යුද්ධ හමුදාවේ අභිමානය වෙනුවෙන් දායක වූ නිලධාරීන් 02 දෙනෙකු සහ සෙසුනිලයන් 07 දෙනෙකු වෙත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් යුද්ධ හමුදාධිපති ප්‍රශංසාත්මක ලාංඡනය පැළඳවීය. නිර්භීතකම, අවංකභාවය, ජාතියේ හදිසි අවස්ථාවන් සඳහා කැපවීම සහ සිය ආරක්‍ෂාව පිළිබඳ නොතකමින් අනුපමේය රාජකාරියක නිරත වීම වෙනුවෙන් ඔවුන් වෙත මෙම ලාංඡන පළඳවනු ලැබීය.

අනතුරුව, භටපිරිස් ආමන්ත්‍රණය කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් සියළුම හිටපු හමුදාධිපතිවරුන්, හිටපු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රණක්‍ෂිතයට පත් සහ දිවංගත වීරෝදාර රණවිරුවන්, සේවයේ නියුතු නිලධාරීන්, සෙසුනිලයන්, සිවිල් සේවක මහත්ම මහත්මීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත සිය උපහාරය පුදකළ අතර, ජාතිය වෙනුවෙන් ඔවුන්ගේ අනුපමේය සේවය සහ කැපවීම අඛණ්ඩව සිදුකිරීමට තවදුරටත් ඔවුන් දිරිමත් කළේය. ප්‍රජාතන්ත්‍රවාදය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්‍ෂා කරමින් පුරවැසියන්ගේ සුභසාධනය සැලසීම සඳහා යුද්ධ හමුදාව සැමවිටම කැපවන බව එතුමන් තවදුරටත් අවධාරණය කළේය.

මෙම අවස්ථාවට හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්, හිටපු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානවරුන් සහ හිටපු නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානවරුන් සිය භාර්යාවන් සමඟින් සහභාගී වූහ. එමෙන්ම, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්, නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ භාර්යාවන් සහ සෙසුනිලයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.