Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd October 2024 18:56:05 Hours

75 වන යුද්ධ හමුදා සංවත්සරයට ආශිර්වාද එක්කරමින් කොල්ලුපිටිය ජුම්මා පල්ලියේ විශේෂ ඉස්ලාමීය ආගමික වැඩසටහනක්

75 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව සිදුකරනු ලබන සර්ව ආගමික ආශිර්වාද වැඩසටහන් මාලාවේ තවත් එක් ආශීර්වාද පූජාවක් 2024 ඔක්තෝබර් මස 03 දින උදෑසන කොල්ලුපිටිය, ජුම්මා මුස්ලිම් පල්ලියේදී පැවැත්විණි. ඒ සඳහා යුද්ධ හමුදා සේවයේ නියුුතු මුස්ලිම් නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගී වූහ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, බ්‍රිගේඩියර් ටී.එන්. මජීඩ් ආර්එස්පී යූඑස්පී එන්ඩීසී අයිඑස්සී සහ කොල්ලුපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියේ භාරකාර මණ්ඩලයේ සාමාජිකයින් විසින් උණුසුම් අයුරින් පිළිගත්හ.

ත්‍රිවිධ භාෂා මගින් සිදුකළ පිළිගැනීමේ දේශනයේදී යුද්ධ හමුදා සංවත්සර සැමරුම් වෙනුවෙන් ඉස්ලාමීය ආගමික යාඥාවේ වැදගත්කම ප්‍රධාන පූජක ෂේක් අර්කාම් නූර් අමිත් (Sheik Arkam Noor Amith) (මවුලවි) විසින් පැහැදිලි කර දුන් අතර, ආගමික සම්ප්‍රදායානුකුලව සැරසු පල්ලිය තුල යාඥා මෙහෙයන් ආරම්භ කරන ලදී.

රටේ අභීවෘද්ධිය උදෙසා යුද්ධ හමුදාව විසින් සිදු කරන ලද අපරිමිත මෙහෙය අගයමින් ඉස්ලාමීය ආගමික චාරිත්‍රානුකූල ‘බයාන්’ (Bayan) ආගමික දේශනය පවත්වමින් යුද්ධ හමුදා ධජයන්ට සහ යුද්ධ හමුදාවට ආශිර්වාද එක්කරන ලද අතර, අනතුරුව මවුලවිතුමන් විසින් ‘කිරාත්’ (Qirath) සහ ‘දුආ’ (Dua) යන විශේෂ ආශිර්වාද යාඥාවන් පවත්වමින් යුද්ධ හමුදාවට ආශිර්වාද එක් කරන ලදී.

ආගමික උත්සවය අවසානයේදී ඉස්ලාමීය පූජනීය සිද්ධස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා මුල්‍ය පරිත්‍යාගයක් ද සිදුකල යුද්ධ හමුදාධිපතිතුමන්, රට තුළ පවතින සහජීවනය, සමගිය සහ සංහිඳියාව පිළිබඳව මවුලවිතුමන්ලා සමඟින් සුහදව අදහස් හුවමාරු කරගත්හ.

උත්සව අවස්ථාවට සිවිල් ඉස්ලාම් භක්තික බැතිමතුන් සමඟින් යුද්ධ හමුදාවේ සේවයේ නියුතු ඉස්ලාම් භක්තික සාමාජිකයින් පිරිසක්ද සහභාගී වූහ. ආගමික උත්සවය අවසානයේදී යුද්ධ හමුදාධිපතිතුමන් සහ කොල්ලුපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියේ භාරකාර මණ්ඩලයේ සභාපති අල්හාජ් ජෙෂ්වාන් (Alhaj Jeshwan) මහතා අතර සුහදත්වයේ සංකේතයක් ලෙස සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකරන ලදී.

මෙම අවස්ථාවෙහිදී, භාරකාර මණ්ඩලයේ උප සභාපති මොමඩ් යසාර් (Momommad Yazar) මහතා විසින් ස්තූති කථාව සිදුකරන ලදී.

උත්සව අවස්ථාවෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් සියලු සම්භාවනීය අමුත්තන් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර උත්සවයේ කටයුතු අවසන් කරමින් එතුමන් අමුත්තන්ගේ සමරු සටහන් පොතෙහි සටහනක් ද තැබීය. ආගමික උත්සවය සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගි වූහ.