Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st October 2024 06:19:21 Hours

75 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව කතරගම කිරිවෙහෙර පුදබිමේදී යුද්ධ හමුදා ධජයන්ට සෙත් පතයි

වර්ෂ 2024 ඔක්තෝබර් මස 10 දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමිව යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීමේ ආශිර්වාද පූජාව 2024 සැප්තැම්බර් මස 30 දින ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර අභියසදී හා කතරගම දේවාල පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහභාගී විය.

සියලුම යුද්ධ හමුදා රෙජිමේන්තු සහ ආයතන නියෝජනය වන ධජයන් යුද්ධ හමුදා බෙර වාදන ශිල්පීන් පෙරටු කරගනිමින් ඉමහත් භක්තියෙන් තෙවරක් ‘කිරිවෙහෙර’ චෛත්‍ය රාජයාණන් වටා පැදකුණු කොට ආශිර්වාද පතා පූජාසනයක තැන්පත් කරමින් ආශිර්වාද පැතීය. ඉන් අනතුරුව, පැවති විශේෂ කප්රුක් පූජාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

එම අවස්ථාවේදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානගේ සුරතින් කිරිවෙහෙර පුදබිමේ විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමිපාණන් වෙත එම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් මූල්‍යමය පරිත්‍යාගයක් සිදුකරනු ලැබීය. ඉන් අනතුරුව, ආගමික වතාවත් සිදුකිරීම සඳහා එම ස්වාමීන් වහන්සේ වෙත ආරාධනා කරනු ලැබීය.

විහාරාධිපති හිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානතුමන්ගේ ප්‍රධානත්වයෙන් එම විහාර පරිශ්‍රයේ පොල්තෙල් පහන් දැල්විණි. පසුව, මහා සංඝරත්නය වෙත පිරිකර සහ ගිලන්පස පූජාකෙරිණි. ඉන් අනතුරුව, ධජ රැගත් යුද්ධ හමුදා සාමාජිකයන් කතරගම දේවාල පුදබිමට යාමට ප්‍රථම මහසෙන් දේවාලයේදී විශේෂ පූජාවක් පවත්වනු ලැබීය.

යුද්ධ හමුදා ධජ රැගත් යුද්ධ හමුදා සාමාජිකයින් සහ හේවිසි කණ්ඩායම්වලින් සමන්විත පෙරහැර, කතරගම පූජාභූමිය වෙත පැමිණිමෙන් අනතුරුව එම ධජ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සංකේතාත්මකව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන වෙත පිළිගන්වන ලදි. පසුව, අෂ්ඨඵල බෝධින් වහන්සේ අභියසදී ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව එතුමන්ගේ සුරතින් බෝධින් වහන්සේ උදෙසා අටපිරිකර පූජා කරන ලදී. යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීම සඳහා එම ධජයන් කතරගම දේවාල මන්ධිරයන්හි තැන්පත් කිරීමෙන් අනතුරුව දේවාලයේ තේවාව ආරම්භ කරන ලදි. එහිදී, එම දේවාල පුදබිමේ සංවර්ධන කටයුතු සඳහා බස්නායක නිලමේතුමන් වෙත මූල්‍ය පරිත්‍යාගයක් ද සිදුකෙරිණි. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් බැතිමතුන් වෙත විශේෂ මුරුතැන් පූජාව බෙදාදෙනු ලැබීය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ මධ්‍යම, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විධායක ජෙනරාල්, යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායක, 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.