Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th September 2024 17:54:26 Hours

75 වන යුද්ධ හමුදා සංවත්සරය සහ යුද්ධ හමුදා දිනයට සමගාමීව ආගමික ආශිර්වාද පිංකම් මාලාව ජය ශ්‍රී මහා බෝ සමිදු අභියසින් ඇරඹේ

එළඹෙන යුද්ධ හමුදා දිනය (ඔක්තෝබර් මස 10) සහ 75 වන යුද්ධ හමුදා සැමරුමට සමාගාමීව යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීමේ උත්සවයක් අද (27) දින පෙරවරුවේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධියේදී පැවැත්විණි.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ගෞරව පූර්වකව, අටමස්ථානාධිපති ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වෙත සම්ප්‍රදායානුකූලව දැහැත් වට්ටියක් සමඟින් අටපිරිකර පූජාකිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාවට සෙත්පැතීමේ ආගමික වතාවත් සඳහා අටමස්ථානාධිපති නාහිමියන්ට උඩමළුව වෙත ආරාධනා කරන ලදී.

ඉන් අනතුරුව, ලංකා බැංකුවේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත යුද්ධ හමුදා භටපිරිස් විසින් එම විහාරස්ථාන පරිශ්‍රයේ ඉදිකරනු ලැබූ ආරක්‍ෂක කුටිය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කෙරිණි.

යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු සහ ආයතනයන් නියෝජනය කරනු ලබන වර්ණවත් ධජ රැගත් හමුදා සාමාජිකයින් සමඟ උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් සම්ප්‍රදායික ‘හේවිසි’ හා ‘මගුල් බෙර’ වාදන මධ්‍යයේ පෙරහැරකින් මහා සංඝරත්නය ධජ සඳහා ආශිර්වාද කිරීමට උත්තරීතර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩවසන ඉහළ මළුව වෙත වැඩම කරනු ලැබූහ. ධජ රැගත් යුද්ධ හමුදා සාමාජිකයින් ජය ශ්‍රී මහා බෝධියේ පහළ වැලි මළුව වටා තෙවරක් පැදකුණු කොට මැද මළුවේදී එම ධජයන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත භාරදුන්හ. ඉන් පසුව යුද්ධ හමුදාධිපතිතුමන් හා ජ්‍යෙෂ්ඨ නිලධාරින් බැතිබරව යුද්ධ හමුදා ධජයන් ජය ශ්‍රී මහා බෝ සමිදුන් වටා තැන්පත් කරන ලදී.

මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ශ්‍රී මහා බෝධීන් වහන්සේ වටා පිරිත් පැන් ඉසිමින් යුද්ධ හමුදා ධජයන්ට ආශිර්වාද පුදකළහ. ශ්‍රී මහා බෝ සමිඳුන් වටා පිච්ච මල් සහ නෙළුම් මල් ඇතිරූ යුද්ධ හමුදාධිපතිතුමන් රට රකින සියලු යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් ආශීර්වාද පතා ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වහන්සේ වන්දනා කරනු ලැබිණි.

ලංකාරාම රජමහා විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය රලපනාවේ ධම්මජෝති හිමිපාණන් මෙම පුණ්‍යෝත්සවය අතරතුරදී විශේෂ අනුශාසනාවක් සිදුකරමින් යුද්ධ හමුදාව ජාතිය වෙනුවෙන් සිදුකළ අනුපමේය කාර්යභාරය ඇගයීමට ලක්කළේය.

ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විධායක ජෙනරාල් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් නිකුත් කළ 75 වන යුද්ධ හමුදා සංවත්සර පණිවිඩය කියවනු ලැබීය. පසුව, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් එම පුදබිමේ සංවර්ධන කටයුතු වෙනුවෙන් භාවිතා කිරීමට අටමස්ථානාධිපති හිමිපාණන් වෙත විශේෂ මූල්‍ය පරිත්‍යාගයක් ද සිදුකරනු ලැබීය.

ඉන් අනතුරුව, 75 වන යුද්ධ හමුදා සංවත්සරය නිමිත්තෙන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි සම්බන්ධීකරණය මත භටපිරිස් විසින් නිවාස අවශ්‍යතා සහිත පවුල් 8 ක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවාසයන්හි යතුරු යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් නිවාසලාභීන් වෙත භාරදෙනු ලැබිණි.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්, රෙජිමේන්තු අධිපතිවරුන් සහ කර්නල් සේනාවිධායකවරුන්, අධ්‍යක්‍ෂවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් රැසක් සහභාගී වූහ.