Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th September 2024 12:40:09 Hours

13 වන ආරක්ෂක සේවා ක්‍රීඩා තරඟාවලිය ඇරඹේ

13 වන ආරක්ෂක සේවා ක්‍රීඩා තරඟාවලියේ සමාරම්භක උත්සවය යුද්ධ හමුදාධිපති සහ ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2024 සැප්තැම්බර් මස12 දින පනාගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන ජ්‍යෙෂ්ඨ නිලධාරිවරුන් සහ ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ උප සභාපතිවරුද සහභාගි වූහ.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් 13 වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල නිල වශයෙන් ආරම්භ කිරීමේ නිවේදනය නිකුත් කල අතර, ඉන් අනතුරුව ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් තිදෙනෙකු විසින් ආරක්ෂක සේවා ක්‍රීඩා තරඟාවලියේ ගිණිසිළුව දැල්වීම සිදුකරන ලදි. තවද මෙහිදි සමාරම්භ උළෙලේ සුවිශේෂිම අංගයක් වන 13 වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ නිල සුරතලා වන ‘සිංහ තෝර්’ හඳුන්වාදීම සිදුවිය.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කරනු ලබන මෙවර තරඟාවලියේ සත්කාරකත්වය ශ්‍රි ලංකා යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ඊට සහයෝගය ලබා දෙනු ලබයි. මෙවර තරඟාවලිය 2025 ඔක්තෝබර් මස වන තෙක් පැවැත්වෙන අතර, ඉසව් 39 ක් යටතේ යුද, ගුවන් සහ නාවික හමුදාවන් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩාකාවන් 4000 කට අධික පිරිසක් සහභාගිවීමට නියමිතය.

ආරක්‍ෂක සේවා තරගාවලියේ දක්ෂතා දක්වමින් ජාත්‍යන්තර තරඟ නියෝජනය කිරීමට සුදුසුකම් ලැබූ ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉතිහාසය පුරාවට තම දේශය වෙනුවෙන් පදක්කම් විශාල ප්‍රමාණයක් දිනා දී ඇති අතර, ශ්‍රි ලාංකීය ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ සියලු දෙනාගේ අවධානය දිනා ඇති මෙම ක්‍රීඩා තරඟාවලියේ සමාරම්භක උළෙල සඳහා ත්‍රිවිධ හමුදා ක්‍රීඩා සංචිතයන්හි සභාපතිවරුන්, ආරක්‍ෂක සේවා ක්‍රීඩා කවුන්සිලයේ ලේකම් සහ එයට සම්බන්ධ සියලුම නිලධාරීවරුන් මෙන්ම ත්‍රිවිධ හමුදා ක්‍රීඩා සංචිත නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ද සහභාගි විය.