Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd August 2024 08:56:29 Hours

මිත්‍ර ශක්ති යුධ අභ්‍යාසයේ නිරත භට පිරිස් අතර සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගයක්

ඉන්දු - ලංකා මිත්‍ර ශක්ති ඒකාබද්ධ යුද අභ්‍යාසයට සම්බන්ධ භට පිරිස් අතර සුහදත්වය සහ සහයෝගය වර්ධනය කිරීමේ අරමුණින් සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟයක් මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසල් ක්‍රීඩාංගණයේදී 2024 අගෝස්තු මස 21 දින පවත්වන ලදී.

එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ මිත්‍ර ශක්ති අභ්‍යාසයේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී සහභාගී විය.

'නිල්' සහ 'අළු ' නම්වලින් නම් කළ කණ්ඩායම් දෙක අතර පැවති මෙම තරඟයේ දී කපිතාන් ඩබ්ලිව්.ඩබ්ලිව්.කේ. වීරසූරිය ‘අළු’ පිලට නායකත්වය දුන් අතර කපිතාන් කරන් වෛජනාත් මසුකෝර් 'නිල්' පිලට නායකත්වය දුන්නේය.

‘නිල්’ කණ්ඩායම කාසියේ වාසිය දිනාගනිමින් පළමුව ‘අළු’ කණ්ඩායමට පන්දුවට පහරදීමට අවස්ථාව ලබාදෙන ලදී. ‘අළු’ කණ්ඩායම තම නියමිත පන්දුවාර 10 තුළ ලකුණු 69ක් රැස් කළේය. ‘නිල්’ කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී එම ලකුණු ප්‍රමාණය හඹා යමින් තරඟය ජයග්‍රහණය කළේය.

12 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ මිත්‍ර ශක්ති අභ්‍යාසයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් පී.කේ.ඩබ්ලිව්.එම්.ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී විසින් ජයග්‍රාහකයින් සඳහා සහතික පත් ප්‍රදානය කරන ලදී. තරඟයේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය, ඉන්දීය භට කණ්ඩායමේ නායකත්වය දරන කර්නල් රවින්දා අලහවට් ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමා විසින් ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සැපැමිණි මේජර් ජෙනරල් යු.කේ. ඩි. ඩි. පි. උඩුගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ගේ සුරතින් ජයග්‍රාහි කණ්ඩායමට හිමි සම්මානය ප්‍රදානය කරන ලද අතර , තරඟය අවසානයේදී කණ්ඩායම සමඟ එතුමන් සමූහ ඡායාරූපයකටද එක් විය.මෙම තරගය නැරඹීම සඳහා දෙරටේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු භට පිරිස් සහභාගි වූහ.