15th July 2024 15:03:40 Hours
ශ්‍රී ලාංකික ආගමික උරුමයක් ලෙස සැලකෙන ඓතිහාසික දීඝවාපි මහා සෑයේ බුදුන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමේ පූජෝත්සවයට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය ඇතුළු සම්භාවනීය ආරාධිතයින් සහ බැතිමතුන් රැසක් සහභාගී වූහ.
එහිදී, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල් සහ එතුමන්ගේ භාර්යාව වන චිත්‍රානි ගුණරත්න මහත්මියගේ සුරතින් එම විහාරස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ දාන ශාලාව විවෘත කළහ. මෙම දාන ශාලාවේ ඉදිකිරීම් කටයුතු සඳහා නාවික හා ගුවන් හමුදා භටපිරිස් ශ්‍රම දායකත්වය සැපයූහ.
අනතුරුව, අභිනවයෙන් ඉදිකරනු ලැබූ ධාතු මන්දිරය විවෘත කෙරුණු අතර, සාම්ප්‍රදායික බෙර වාදනයන් සමඟින් පැවති පෙරහැරකින් බුදු රජාණන් වහන්සේගේ සර්වඥ ධාතූ කරඬුව වැඩම කළහ. අනතුරුව, පූජනීය ධාතූන් වහන්සේ වෙනුවෙන් පුද පූජාවන් පවත්වනු ලැබීය.
උත්සව අවස්ථාව සඳහා සහභාගී වූ බැතිමතුන් පන්සිල් සමාදන් වීමෙන් අනතුරුව ආරක්‍ෂක ලේකම් විසින් පිළිගැනීමේ කථාව පවත්වනු ලැබීය. ඉන් අනතුරුව, පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් මහාචාර්ය ඩී. තුසිත මෙන්ඩිස් මහතා විසින් ඓතිහාසික දීඝවාපි විහාරස්ථානය හා සබැඳි පුරාවිද්‍යාත්මක වැදගත්කම පිළිබඳ පැහැදිලි කරමින් දේශනයක් පවත්වන ලදී.
මෙම පූජෝත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි අතිගරු ජනාධිපති සන්නද්ධ හමුදා සේනාධිනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ සම්භාවනීය අමුත්තන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ. යුද්ධ හමුදා භටපිරිස් සහභාගීත්වයෙන් දීඝවාපී චෛත්‍යයේ ඉදිකරනු ලැබූ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ධාතු ගර්භයේ බුදු රදුන්ගේ සර්වඥ ධාතූන් සහ නිධන් වස්තු තැම්පත් කරනු ලැබීය. මෙම පූූජෝත්සවය දීඝවාපිය විහාරස්ථානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මහඔය සෝභිත හිමිපාණන්ගේ පිරිත් සජ්ඣායනාවන් මධ්‍යයේ සිදුකෙරිණි.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය, හිටපු ගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්, ගරු බුද්ධශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මැතිතුමන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ ආර්එස්පි වීඑස්වී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, විශ්‍රාමික නිලධාරීන්, පොලිස් නිලධාරීන් හා ඔවුන්ගේ භාර්යාවන් සහ ප්‍රදේශවාසී බැතිමතුන් පිරිසක් සහභාගි වූහ.
අතිපූජ්‍ය දරණාගම කුසලධම්ම නාහිමිපාණන්ගේ මෑණියන් විසින් ලබාදුන් මූල්‍ය දායකත්වය මත ඉදිකෙරුණු මෙම අතිපූජ්‍ය දරණාගම කුසලධම්ම නාහිමි අනුස්මරණ සන්ථාගාර ශාලාවේ ඉදිකිරීම් කටයුතු නාවික හමුදා භටපිරිස් විසින් සිදුකරනු ලැබූ අතර එතුමිය ගේ සුරතින් නව සන්ථාගාර ශාලාව විවෘත කරනු ලැබීය.