06th July 2024 11:43:50 Hours
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ 2024 ජූලි මස 05 දින ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.
රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්, පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ ගැමුණු හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී. වෙලගෙදර ආර්එස්පී වීඑස්වී යූඑස්පි එන්ඩීසී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ප්‍රධාන දොරටුව අභියසදී යුද්ධ හමුදාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකළහ. අනතුරුව, එතුමන් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ රණවිරුවන් වෙත සිය පුෂ්පෝපහාරය පුදකළේය. ඉන් අනතුරුව, ගැමුණු හේවා බලකායේ බලකාධිපතිතුමන් විසින් පිළිගැනීමේ කථාව ඉදිරිපත් කළ අතර ගුවන් සංග්‍රමික බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් හඳුන්වාදීමේ කථාව සිදුකරනු ලැබීය.
ඉන් අනතුරුව, ගැමුණු හේවා බලකායේ භටපිරිස් ආමන්ත්‍රණය කළ යුද්ධ හමුදාධිපතිතුමන් විනය සහ පක්‍ෂපාතීත්වය පවත්වාගැනීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කරමින් රාජකාරි ඉටුකිරීම සහ තම රාජකාරියට වගවීම පිළිබඳ ඉහළම ප්‍රමිතීන් පවත්වාගැනීම සඳහා භටපිරිස් දිරිමත් කළේය. මීට අමතරව, සමාජ මාධ්‍යයන්හී අසත්‍ය ප්‍රචාර පැතිරවීම පිළිබඳ අවවාද ලබාදෙමින් යුද්ධ හමුදාව හා සබැඳි වැරදි තොරතුරු ප්‍රචාරය කිරීම සබැඳිව ද පෙන්වා දුන්නේය. එමෙන්ම, මෙම උත්සවය සාර්ථකව සංවිධානය කිරීම පිළිබඳව බලකාධිපතිතුමන්, සියලුම නිලධාරින් සහ සෙසුනිලයන් වෙත යුද්ධ හමුදාධිපතිතුමන් සිය කෘතඥතාවය ද පුදකළේය.
මෙම අවස්ථාවේදී, ගැමුණු හේවා බලකායේ බලකාධිපතිතුමන් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කළේය. පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එම රෙජිමේන්තු සාමාජිකයන්ගේ සුභසාධන කටයුතු සහ රෙජිමේන්තුව තුළ ක්‍රීඩා කටයුතු ප්‍රවර්ධනය සඳහා භාවිතා කිරීම වෙනුවෙන් බලකාධිපතිතුමන් වෙත මූල්‍ය පරිත්‍යාගයක් ද සිදුකළේය. අනතුරුව, ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ සංචාරය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් බලකාධිපතිතුමන් වෙත සමරු ඵලකයක් ද ප්‍රදානය කරනු ලැබීය.
ඉන් අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් එම රෙජිමේන්තු ප්‍රධාන දොරටුව අභියස පැළයක් රෝපණය කිරීමෙන් පසුව තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගී විය. මෙම සංචාරය සමාප්තියේ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් එම රෙජිමේන්තු ක්‍රීඩා පිටියේ අභිනවයෙන් ඉදිකළ ක්‍රීඩාගාරය විවෘත කරනු ලැබීය. කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.