Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th June 2024 18:51:49 Hours

‘Palmyra Challenge Trophy’ ක්‍රිකට් තරඟාවලියේ ශූරතා කුසලානය ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සුරතින් ප්‍රදානය කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය 28 වැනි සංවත්සරය නිමිත්තෙන් යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහයෝගය ඇතිව සංවිධානය කරනු ලැබූ ‘Palmyra Challenge Trophy’ ක්‍රිකට් තරඟාවලියේ පළමු අදියර යටතේ යාපනය ජීනියස් සහ කිලිනොච්චි ජීනියස් කණ්ඩායම් අතර ක්‍රිකට් තරඟය 2024 ජුනි 23 දින කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වූහ.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී විය. යුද්ධ හමුදා සාමාජිකයින්ගේ හා කිලිනොච්චිය සහ යාපනය ප්‍රදේශයන්හි රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රජා ආධ්‍යාත්මය වර්ධනය කිරීමේ සහයෝගී ප්‍රයත්නයක සාක්‍ෂියක් ලෙස මෙම තරඟාවලිය පැවැත්වීය.

යාපනය සහ කිලිනොච්චිය ප්‍රදේශයන්හි රාජ්‍ය නිලධාරීන්, හමුදා සමාජිකයින් සහ සිවිල් වැසියන් අතර සහයෝගීතාවය වර්ධනය කිරීමේ අරමුණින් පවත්වනු ලැබූ මෙම ක්‍රිකට් තරඟාවලිය සඳහා රජයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ ප්‍රදේශයේ ජනතා නියෝජිතයින්ගෙන් සමන්විත කණ්ඩායම් සහභාගී වූහ.

පැවති පළමු ක්‍රිකට් තරඟයෙන් කිලිනොච්චි ජීනියස් කණ්ඩායම ජයග්‍රහණය කළ අතර, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය, 51, 52 සහ 55 පාබල සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන් විසින් ජයග්‍රාහකයින් වෙත ත්‍යාග සහ ‘Palmyra Challenge Trophy’ කුසලානය ප්‍රදානය කරන ලදී. මෙම ක්‍රිකට් තරඟාවලියේ දෙවැනි අදියර යාපනයේදී පැවැත්වීමට නියමිතය.

තරඟය නැරඹීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයන් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් විශාල පිරිසක් මහත් උනන්දුවෙන් සහභාගී වූ අතර, උත්සව කටයුතු අවසානයේදී 55 පාබල සේනාංකය විසින් කිලිනොච්චිය විජයග්‍රාහී යුද ස්මාරකය අසල දිවා භෝජන සංග්‍රහයක් සංවිධානය කරන ලදී.