Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th June 2024 08:12:49 Hours

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ නව ශ්‍රවණාගාරය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කෙරේ

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ ශ්‍රවණාගාරය 2024 ජූනි මස 06 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිවිපී ආර්එස්පී එන්ඩීයූ ගේ සුරතින් විවෘත කරන ලදී. උත්සව අවස්ථාව සඳහා පුහුණු පාසල වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව, යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් කේ.ටී.පී. සිල්වා ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිවිපී ආර්එස්පී එන්ඩීයූ ගේ සුරතින් පීත්ත පටිය කපා සමරු ඵලකය නිරාවරණය කර ‘Captivate’ නම් ශ්‍රවණාගාරය විවෘත කරනු ලැබීය. අනතුරුව, අභිනවයෙන් ඉදිකරනු ලැබූ ශ්‍රවණාගාරයේ ඉදිකිරීම් කටයුතු සබැඳිව නිර්මාණය කළ කෙටි වීඩියෝපටයක් ප්‍රදර්ශනය කෙරිණි. පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් නව ශ්‍රවණාගාරයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ අතර යුද්ධ හමුදා පුහුණු පාසලේ පාඨමාලා හදාරනු ලබන යුද්ධ හමුදා සාමාජිකයන් 400 දෙනෙකුට අසුන්ගැනීමේ හැකියාව සහිත ශ්‍රවණාගාරය නිරීක්‍ෂණය කරනු ලැබිණි. මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සාර්ථකව සිදුකරගැනීම වෙනුවෙන් 3 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස්හී තාක්‍ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය හිමිවූහ.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රතිත්‍රස්ත යුද උපක්‍රම හා කැලෑබද සටන් පුහුණු පාඨමාලාව හදාරනු ලබන විදේශ නිලධාරීන් සමඟ සුහඳ අදහස් හුවමාරුවක නිරතවිය. පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් සහ එම විදේශීය නිලධාරින් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි. මෙම අවස්ථාව සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් එම පුහුණු පාසල් කාර්ය මණ්ඩලය සහ විදේශීය නිලධාරින් සමඟ සමූහ ඡායාරූප කිහිපයක් සඳහා ද පෙනීසිටියේය.

මෙම අවස්ථාවට තවත් සුවිශේෂීත්වයක් එක්කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිවිපී ආර්එස්පී එන්ඩීයූ ගේ සුරතින් එම පුහුණු පාසල් පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායකතුමන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් පැවති සුහඳ තේ පැන් සංග්‍රහයක් සදහා සහභාගී වූ යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර, අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික, පුහුණු අධ්‍යක්‍ෂ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.