Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th May 2024 18:13:14 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මූලිකත්වයෙන් සිංහල භාෂා පුහුණු වැඩසටහනක්

විවිධ ජාතීන් අතර සංහිඳියාව ඇතිකිරීමේ අරමුණින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර වෙතින් මීට මාස කිහිපයකට ප්‍රථම කොක්කඩිචෝලෙයි රාමක්‍රිෂ්ණ මිෂන් පාසල් පරිශ්‍රයේදී සිංහල භාෂා පුහුණු වැඩසටහනක් ආරම්භ කරනු ලැබීය. එම පුහුණු වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ නිරීක්‍ෂණය කිරීමේ අරමුණින් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී 2024 මැයි මස 24 දින එම විද්‍යාලය වෙත සංචාරයක නිරතවිය. එම පුහුණු වැඩසටහන සඳහා මේ වනවිට දමිළ සිසු සිසුවියන් 103 දෙනෙකු සහභාගී වේ. එම සිසු සිසුවියන් විසින් ගීත සහ දේශනයන් මඟින් ඔවුන්ගේ සිංහල භාෂා කුසලතාවයන් සංචාරයේ නිරත ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර වෙත ඉදිරිපත් කළහ. මෙම පාඨමාලාවේ ප්‍රධාන උපදේශක වශයෙන් එච්.එම්. අන්වර් මහතා කටයුතු කරයි.

එමෙන්ම, මඩකලපුව සිවිල් පුරවැසි කමිටුව වෙතින් සංවිධානය කරනු ලැබූ සිංහල භාෂා ඩිප්ලෝමා සහතිකපත් ප්‍රධානෝත්සවය 2024 මැයි මස 26 දින ඔඩ්ඩමාවඩි ජාතික පාසලේදී පැවැත්විණි. පාඨමාලාව සාර්ථකව නිම කළ සිසු සිසුවියන් 150 දෙනෙකුට එහිදී සිංහල භාෂාව පිළිබඳ ඩිප්ලෝමා සහතිකපත් පිරිනැමිණි. ඊට අමතරව, මේ වනවිට එම පාඨමාලාව හදාරන තවත් සිසු සිසුවියන් 220 දෙනෙකු වෙත පාඨමාලාව හා සබැඳි පෙළපොත් බෙදාදීමක් ද මෙහිදී සිදුකෙරිණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහභාගී විය. එතුමන් දේශනයක් සිදුකරමින්, සංහිඳියාව ප්‍රවර්ධනය සඳහා භාෂා කුසලතා වැඩිදියුණු කිරීමේ වැදගත්කම පිළිබඳව මෙන්ම මෙවැනි වැදගත් පාඨමාලාවක් සංවිධානය කිරීමට මඩකලපුව සිවිල් පුරවැසි කමිටුව කටයුතු කිරීම පිළිබඳ ඇගයීමට ලක්කළේය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.