Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th May 2024 14:52:12 Hours

2024 වෙසක් උත්සව සැමරුම වෙනුවෙන් 55 පාබල සේනාංකය වෙතින් ආගමික වැඩසටහන් මාලාවක්

2024 වෙසක් උත්සව සැමරුම වෙනුවෙන් 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී. ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම මත එම සේනාංකයේ භටපිරිස් 2024 මැයි මස 23 සහ 24 දෙදින තුළ ආගමික වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරනු ලැබීය.

වෙසක් සැමරුම් උත්සවයට සමගාමීව, 55 පාබල සේනාංකයත්, ඒ යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන් වෙතින් වෙසක් දන්සැල් පවත්වමින් කිලිනොච්චිය ප්‍රදේශයේ වෙසෙන සිවිල් වැසියන් 2500 කට අධික පිරිසක් වෙනුවෙන් බනිස්, බිස්කට් සහ සිසිල්බීම පිරිනමනු ලැබූ අතර එදින සන්ධ්‍යාවේ ‘භක්ති ගීත’ වැඩසටහන් ද පැවැත්වීය.

කරච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාල බලප්‍රදේශයේ ස්ථාපිත ළමා සංවර්ධන මධ්‍යස්ථාන 9 ක නේවාසික විශේෂ අවශ්‍යතා සහිත ළමුන් 60 දෙනෙක් ඇතුළු ළමුන් 672 දෙනෙකු සහ එම මධ්‍යස්ථානයන්හී කාර්ය මණ්ඩලය වෙත දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීමේ වැඩසටහනක් ද 2024 මැයි මස 23 දින ක්‍රියාත්මක කරනු ලැබීය. එමෙන්ම, 551 පාබල බලසේනාවේ සහයෝගය මත එම සේනාංක මූලස්ථානය ඉදිරිපිට දී මැයි මස 24 දින බැතිමතුන් 3000 දෙනෙකු වෙනුවෙන් බත් දන්සලක් ද පැවැත්විණි.

මීට අමතරව, මැයි මස 23 සහ 24 දෙදින තුළ 552 පාබල බලසේනාව වෙතින් බැතිමතුන් 3000 කගේ සහභාගීත්වයෙන් පූනකරි ප්‍රදේශයේදී අයිස්ක්‍රීම් දන්සලක්, 553 පාබල බලසේනාව වෙතින් විශ්වමඩු ප්‍රදේශයේ බැතිමතුන් 2500 කගේ සහභාගීත්වයෙන් බත් දන්සලක්, 6 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙතින් බැතිමතුන් 3000 කගේ සහභාගීත්වයෙන් ඔසු පැන් දන්සලක් පැවැත්වූ අතර 11 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුව වෙතින් එම මූලස්ථාන පරිශ්‍රයේදී සිසිල් බීම සහ මාළුපාන් දන්සලක් පැවැත්වීය.

දන්සැල් පැවැත්වීමට අමතරව, පසුගිය බ්‍රහස්පතින්දා (23) දින සන්ධ්‍යාවේ කිලිනොච්චිය නගරය, ලුම්බිණි විහාරය සහ අලිමංකඩ යුද ස්මාරක වර්ණවත් කරමින් වෙසක් කූඩු ප්‍රදර්ශනය කරනු ලැබූ අතර එම පහන් කූඩු 55 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කෙරිණි. මෙම අවස්ථාවන් සඳහා 55 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු සියලුම බලසේනාධිපතිවරුන්, මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.