Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th May 2024 17:08:42 Hours

ජාතික රණවිරු සැමරුම් දිනය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කරන ලද පණිවිඩය

ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් නිර්මාණය කිරීමට සටන් කළ එල්ටීටීඊ සංවිධානය පරාජයට පත්කර 2024 වර්ෂයේ මැයි මස 19 වන දිනට වසර 15 ක් සම්පූර්ණ වේ. දශක තුනකට අධික කාලයක් රටේ ස්වෛරීත්වයට හා භෞමික අඛණ්ඩතාවට තර්ජනයක් වෙමින් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය අවසන් කිරීමට හැකිවීම සමස්ත ජනතාවම ලැබූ ජයග්‍රහණයකි. දීර්ඝ කාලයක් ජනතාවට විශාල පීඩාවක් ගෙනදුන් ත්‍රස්තවාදය නිමාකර සාමය උදාකරදුන් ‘විජයග්‍රහණයේ දිනය’ වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරනු ලබන්නේ මහත් අභිමානයකිනි.

ත්‍රස්තවාදයෙන් පීඩා විඳි සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාව මුදා ගැනීම සඳහා රජය විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කළ අතර අවස්ථා ගණනාවකදී ඇතිකරගනු ලැබූ සාම සාකච්ඡා හා සටන් විරාම ගිවිසුම් මගින් ගත් උත්සහයන්ද අසාර්ථක විය. එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන්ගේ ප්‍රධාන පරමාර්ථය වූයේ ඊලාම් රාජ්‍යය ගොඩනගා ගැනීම වූ බැවින් ඔවුහු ඒ සඳහාම සටන් කළහ. ඒ අනුව මේ කාලය පුරාවටම යුද්ධ හමුදාව ප්‍රමුඛ ආරක්‍ෂක අංශ මාතෘ භූමියේ ආරක්‍ෂාව වෙනුවෙන් ත්‍රස්තවාදීන්ගේ අරමුණු ව්‍යර්ථ කිරීමට කැපවුණු බව අභිමානයෙන් සිහිපත් කළ යුතුය. එල්ටීටීඊ සංවිධානය මාවිල් ආරු සොරොව්ව වසාදමමින්, එම ප්‍රදේශයේ ජනතාවගේ දෛනික ජල අවශ්‍යතාව හා ගොවිබිම් වෙත ජලය සැපයීම නවතා දමා සිදු කළ අමානුෂික ක්‍රියාවෙන් පීඩාවට පත් ජනතාව ඉන් මුදා ගැනීම අරමුණු කරගනිමින් මානුෂීය මෙහෙයුමක් දියත් කරන ලදි. එම මෙහෙයුම මගින් සමස්ත නැගෙනහිර ජනතාවම ත්‍රස්තවාදින්ගෙන් නිදහස් කරගැනීමට හැකි වූ අතර එය එල්ටිටිඊ සංවිධානයේ අවසානය සනිටුහන් කිරීමේ සන්ධිස්ථානයක් වූ බව අප දනිමු.

නැගෙනහිර ප්‍රදේශය මුදා ගැනීමෙන් පසුව වන්නි ප්‍රදේශයත් එම ජනතාවත් නිදහස් කර ගැනීම සඳහා මානුෂීය මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක කරන ලදි. වසර දෙකකට ආසන්න කාලයක් පැවති එම මෙහෙයුමත් සමග සමස්ත දේශයම ත්‍රස්තවාදීන්ගෙන්, 2009 මැයි මස 19 වන දින වන විට දේශය සම්පූර්ණයෙන්ම නිදහස් කරගැනීමට හැකි විය. මෙහිදී ත්‍රස්තවාදීන් විසින් මිනිස් පළිහක් ලෙස තබාගෙන සිටි ලක්ෂ තුනකට අධික ජනතාවක් මුදා ගැනීමට හැකිවීම අප ලැබූ ඓතිහාසික විජයග්‍රහණයකි. ප්‍රාණ ඇපකරුවන් සේ තබාගෙන සිටි එතරම් විශාල පිරිසක් මුදාගැනීම ලොව වාර්තාගත මෙහෙයුමක් වනු නිසැකය. ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු රටේ සියලු ජනතාවට නිදහසේ ජීවත් වීමට අවකාශ ලැබුණි. එම ජයග්‍රහණය රටේ සෑම දෙනාගේ එකම පැතුම වූ අතර ඒ සඳහා රාජ්‍ය තාන්ත්‍රික නායකත්වය, ත්‍රිවිධ හමුදාධිපතිවරුන් ඇතුළු ආරක්‍ෂක ප්‍රධානීන් මෙන්ම යුද්ධ හමුදාවේ සියලුම මට්ටමේ සංග්‍රාම නායකයින් හා වීරෝදාර සෙබළුන් දැක්වූ දායකත්වය මෙම අවස්ථාවේදී කෘතවේදීව සිහිපත් කරමි. මාතෘ භූමිය නිදහස් කරගැනීම වෙනුවෙන් දිවි පුදකළ සියලු රණවිරුවන් සමගින් රණක්‍ෂිතයට පත්වූ වීරෝදාර රණවිරුවන්ද මෙම ඓතිහාසික දිනයේදී ගෞරව භක්ත්‍යාදරයෙන් සිහිපත් කරන අතර ඔවුන් අතරින් තවදුරටත් ප්‍රතිකාර ලබන විරුවන්ට ඉක්මන් සුවය ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි.

රටේ ආරක්‍ෂාව සුරක්ෂිත කිරීම සඳහා පෙරමුණ ගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ස්වභාවික ව්‍යසන හා ආපදාකාරී අවස්ථාවන්හිදීත් ජීවිත අවදානම නොතකමින් ස්වකීය වගකීම ඉටු කරන අතරතුර රටේ සංවර්ධනය, මහජන සුබසාධනය වෙනුවෙන්ද විශාල කාර්යභාරයක් ඉටු කරන බව අප දනිමු. පසුගිය සමයේ රටෙහි ඇති වූ සාමාජීය හා දේශපාලනික අර්බුදකාරි තත්වය මැඩපැවැත්වීමට යුද්ධ හමුදාව මූලික දායකත්වය ලබාදුන් බව පැහැදිළි කරුණකි. රටේ ජනතාවට නිදහසේ ජීවත්වීම සඳහා වීරෝදාර රණවිරුවන් වන ඔබ එහිදී ඉවසීමෙන් හා විනයගරුකව ඉටු කළ කාර්යභාරය විශේෂයෙන් සිහිපත් කරමි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රමුඛතම රාජකාරිය වන්නේ රටේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවට එරෙහිව පැමිණෙන තර්ජනයන් මැඩපවත්වමින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ආරක්ෂා කරමින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීම බව අප නිරන්තරයෙන් මතක තබා ගත යුතුය.

15 වන විජයග්‍රාහි දිනය සමරන මේ මොහොතේ, ‘රාජ්‍යයේ ආරක්‍ෂකයින්’ වන ඔබගේත්, විශ්‍රාමික රණවිරුවන්ගේත්, රණවිරු පවුල්වලත් මෙන්ම සිවිල් කාර්ය මණ්ඩලයේත් සුබසාධනය වෙනුවෙන් තවදුරටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව සිහිපත් කරමි. යුද්ධය අවසන් කර මාතෘ භූමියට උදාකරදුන් නිදහස සුරක්‍ෂිත කිරීම අප සැමගේ වගකීමක් වන අතර ඒ සඳහා අප වෙත පැවරී ඇති කාර්යභාරය නිසි අයුරින් ඉටුකිරීම අත්‍යවශ්‍ය බව අවධාරණය කරමි. මාතෘ භුමියේ ස්වෛරීත්වය හා නිදහස වෙනුවෙන් ඔබට පැවරෙන වගකීම් නිසි ආකාරයෙන් ඉටු කළ යුතු බව නැවතත් සිහිපත් කරන අතර, එහිදී යුද්ධ හමුදාවේ ගෞරවය, කීර්තිය හා ප්‍රතිරූපය රැකගනිමින් ඔබ සියලු දෙනාම කටයුතු කරනු ඇතැයිද මම අපේක්ෂා කරමි.

ඔබ සැමට තෙරුවන් සරණයි !