Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th May 2024 17:53:42 Hours

නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ටී.සී මෙත්තානන්ද යූඑස්පී එන්ඩීසී ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 35 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ටී.සී මෙත්තානන්ද යූඑස්පී එන්ඩීසී සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2024 මැයි මස 17 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ආරාධනයෙන් යුද්ධ හමුදා මූලස්ථානයේදී එතුමන් හමුවිය.

නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් යුද්ධ හමුදාව වෙනුවෙන් ඉටුකළ අනුපමේය සේවය මෙම සුහද හමුවේදී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට ලක්විය. මව්බිම ත්‍රස්තවාදයෙන් මුදවාගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ මානුෂීය මෙහෙයුමේදී එතුමන් දැක්වූ සක්‍රීය දායකත්වය සහ අගනා කාර්යභාරය සිහිපත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් සිය කෘතඥතාවය පුදකළේය.

යුද්ධ හමුදා සේවා කාලය තුළ විවිධ තනතුරු හෙබවීමේදී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම් හා මඟපෙන්වීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය කෘතඥතාවය පුදකළේය. සුහඳ හමුව සමාප්තියේ, යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ටී.සී මෙත්තානන්ද යූඑස්පී එන්ඩීසී වෙත සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ තිළිණයක් ද ප්‍රදානය කරනු ලැබීය.

එතුමන් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

වර්ෂ 1989 ජනවාරි මස 20 දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස පාඨමාලා අංක - 31 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුණු මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ටී.සී මෙත්තානන්ද යූඑස්පී එන්ඩීසී, පාකිස්ථාන යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් සහ දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් කෙඩෙට් නිලධාරි පාඨමාලාවන් සාර්ථකව අවසන් කර 1990 ඔක්තෝබර් මස 05 දින දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය වෙත අනියුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් එතුමන් 2022 පෙබරවාරි මස 04 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2024 මැයි මස 26 දින වයස අවුරුදු 55 සම්පූර්ණ වී යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම දිවියට එලඹෙන එතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති වශයෙන් රාජකාරි කරනු ලැබුවේය.

විශ්‍රාම දිවියට පා තබන එතුමන්ගේ කීර්තිමත් සේවා කාලය තුළදී සටන් පුහුණු පාසලේ සහ පාබල පුහුණු මධ්‍යස්ථානයේ ඛණ්ඩභාර නිලධාරි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රවාහන අංශ භාර නිලධාරි, 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ විධායක අධිකාරී, 22 පාබල සේනාංක මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරි 3 (පාලන හා භඨකාර්ය සම්පාදක) , සුබසාධන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි 2 (රක්‍ෂණ සහ වෛද්‍ය යෝජනා ක්‍රමය), 51 පාබල සේනාංකයේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් නිලධාරී, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය මනෝවිද්‍යාත්මක මෙහෙයුම් නිලධාරි, යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරි 2 (පාලන සහ භඨකාර්ය සම්පාදක), කන්තලේ යුද්ධ හමුදා ගොවිපළේ නිලධාරී අණදෙන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි 2 (පාලන), ප්‍රාදේශීය මූලස්ථානය - වැලිඔය මාණ්ඩලික නිලධාරි 1 (පාලන සහ භඨකාර්ය සම්පාදක), 8 කාර්ය සේනාංක මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරි 1 (පාලන සහ භඨකාර්ය සම්පාදක), යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේ සේනාවිධායක සහ කලාප 17 හි කලාප අණදෙන නිලධාරි, මෙහෙයුම් ආඥාපති - කොළඹ, 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අණදෙන නිලධාරී, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික නිලධාරි 1 (පාලන සහ භඨකාර්ය සම්පාදක), ආරක්‍ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චි කර්නල් (පාලන සහ භඨකාර්ය සම්පාදක), හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායීකරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ ශ්‍රී ලංකා බලඇණියේ භඨකාර්ය සම්පාදක අණදෙන නිලධාරී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ කාර්යයේ නියුක්ත මධ්‍යස්ථාන සේනාවිධායක, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා වෘත්තීය පුහුණු පාසලේ සේනාවිධායක, 22 පාබල සේනාංක මූලස්ථානයේ කර්නල් (පාලන සහ භඨකාර්ය සම්පාදක), යුද්ධ හමුදා මූලස්ථානයේ අයවැය සහ මූල්‍ය කළමනාකරණය අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බලකාධිපති, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස -නැගෙනහිර සහ යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති වැනි ධූරයන් රැසක් හොබවා ඇත.

එතුමන්ගේ හමුදා දිවිය තුළදී ඛණ්ඩභාර නිලධාරී උපක්‍රමික පාඨමාලාව, සිවිල් - හමුදා මෙහෙයුම් පුහුණු පාඨමාලාව, මනෝවිද්‍යාත්මක මෙහෙයුම් පුහුණු පාඨමාලාව, ජාතික ආරක්‍ෂාව සහ උපායමාර්ගික අධ්‍යයන පාඨමාලා, නිලධාරී ශාරීරික අභ්‍යාස පුහුණු පාඨමාලාව - ඉන්දියාව, නිලධාරීන්ගේ උසස් පාඨමාලාව (පශු වෛද්‍ය) - පාකිස්ථානය, එක්සත් ජාතීන්ගේ භඨකාර්ය සම්පාදක නිලධාරීන්ගේ පාඨමාලාව - නේපාලය වැනි දෙස් විදෙස් පාඨමාලා සහ මනෝවිද්‍යා අධ්‍යයන ආයතනයේ මනෝවිද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාව සහ මනෝවිද්‍යා අධ්‍යයන ආයතනයේ උපදේශනය පිළිබඳ උසස් සහතිකපත්‍ර ඩිප්ලෝමාව වැනි උසස් අධ්‍යාපනික සහ හමුදා නොවන පාඨමාලා කිහිපයක් ද හදාරා ඇත.