13th May 2024 08:11:59 Hours
දඹුල්ල සහ ගලේවෙල ප්‍රදේශයේ විශ්‍රාමික රණවිරුවන් සහ ඔවුන්ගේ සමීපතම ඥාතීන් 500 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ඔවුන්ගේ සුබසාධන හා පරිපාලන කටයුතු සොයා බැලීම වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහනක් 53 පාබල සේනාංක මූලස්ථානයේදී 2024 මැයි මස 11 දින පැවැත්විණ.
මෙම අවස්ථාවට ප්‍රධාන අරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සහභාගී වු අතර, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය ද සහභාගී විය.
විශ්‍රාමික රණවිරුවන්ගේ පරිපාලනමය ගැටලු සහ ඔවුන්ගේ සුභසාධන කටයුතු පිළිබඳව මෙහිදී අවධානය යොමුවිය. වැටුප් හා ලේඛණ අධ්‍යක්‍ෂක මණ්ඩලය, යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂක මණ්ඩලය,පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂක මණ්ඩලය, නීති සේවා මානව හිමිකම් සහ මානුෂවාදී නීති අධ්‍යක්‍ෂක මණ්ඩලය, සුභසාධක අධ්‍යක්‍ෂක මණ්ඩලය, රණවිරුසේවා සහ පුනරුත්ථාපන අධ්‍යක්‍ෂක මණ්ඩලය සහ යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂක මණ්ඩලය යන අධ්‍යක්‍ෂක මණ්ඩල වලට ඔවුන්ගේ ගැටළු යොමුකිරීම සඳහා උපකාරක විමසීම් ස්ථාන හතක් ස්ථාපිත කර තිබුණි.
යුද්ධ හමුදාධිපතිතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, රණවිරුසේවා සහ පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් එස්.සී. ඒකනායක ආර්එස්පී විසින් පිළිගැනීමේ කතාව සිදු කළේය.
ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා දේශනය අතරතුරදී මියගිය රණවිරුවන් සිහිපත් කරමින් ඔවුන් මව්බිම වෙනුවෙන් කළ සේවය ඇගයීමට ලක්කල අතර, අභියෝගාත්මක කාල වකවානුවන් හීදී ඉවසීමෙන්, උනන්දුවෙන් හා කැපවීමේන් යුතුව තම රාජකාරි ඉටුකිරීම වෙනුවෙන් භටපිරිස් වෙත එතුමන් ප්‍රශංසා කළේය. දැනට ක්‍රියාත්මක සුබසාධන ව්‍යාපෘති සහ සැලසුම් අදියරේ පවතින ව්‍යාපෘති පිළිබඳවද එතුමන් මෙහිදී පැහැදිලි කළේය.
අනතුරුව රැස්ව සිටි පිරිසට තම අදහස් ප්‍රකාශ කිරීමටත්, ඔවුන්ගේ ගැටළු විසදා ගැනීමටත් අවස්ථාව සලසා දෙන ලද අතර, ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමා, යුද්ධ හමුදාධිපති සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එම ගැටළු සඳහා පිළිතුරු සපයන ලදී.
මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයන් වෙනුවෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා අතින් වියලි සලාක ඇසරුම් සහිත පාර්සල් 81 බෙදා දෙන ලද අතර, එය යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලදී.
මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී. යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, යුද්ධ හමුදා සුභසාදක අධ්‍යක්‍ෂක ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ වනසිංහ ආර්එස්පී යූඑස්පී, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, විශ්‍රාමික රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද සහභාගී වූහ