Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th May 2024 16:18:29 Hours

රණවිරු ඇපරල් කළමණාකරණ අධ්‍යක්‍ෂ මණ්ඩල සාකච්ඡාව පැවැත්වේ

රණවිරු ඇපරල් කළමණාකරණ අධ්‍යක්‍ෂ මණ්ඩල සාකච්ඡාව යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී ගේ ප්‍රධානත්වයෙන් 2024 මැයි මස 3 දින පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා සපැමිණි රණවිරු ඇපරල් කළමණාකරණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සභාපති ප්‍රමුඛ සාමාජිකයන් රණවිරු ඇපරල් ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.ජී.ඒ.එන්.බී. මහතුවක්කාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීසී විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. පසුව, එතුමන් විසින් රණවිරු ඇපරල් ආයතනයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ සවිස්තරාත්මක දැනුවත් කිරීමක් සිදුකළේය.

පසුව, රණවිරු ඇපරල් ආයතනයේ නිෂ්පාදනයන් සඳහා පරිපාලන සහ සැපයුම් කටයුතු වැඩිදියුණු කිරීම් පිළිබඳ සාකච්ඡා කෙරිණි. යක්කල සහ අලව්ව ප්‍රදේශවල ස්ථාපිත එම කර්මාන්ත ශාලාවන්හී තොරතුරු තාක්‍ෂණ පහසුකම් වැඩිදියුණු කිරීම්, නිෂ්පාදන ධාරිතාව වැඩිදියුණු කිරීම, නව නිෂ්පාදන හඳුන්වාදීම, හරිත බලශක්තිය යොදාගැනීම, යටිතල පහසුකම් සංවර්ධනය, ශාරීරික යෝග්‍යතා පහසුකම් වැඩිදියුණු කිරීම්, ඉදිකිරීම් ව්‍යාපෘති සහ නිපුණතා සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින් මෙම සාකච්ඡාවන් පැවැත්විණි.

සාකච්ඡාවෙන් අනතුරුව, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ රණවිරු ඇපරල් කළමණාකරණ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයින් සමඟ රණවිරු ඇපරල් යක්කල කඳවුර වෙත පැමිණ එම සියළු නිෂ්පාදන සහ ඒකක පරීක්‍ෂාවට ලක්කළ අතර යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීතුමන් විසින් කර්මාන්තශාලාවේ කාර්ය මණ්ඩලයේ කාර්යභාරය ඇගයීමට ලක්කළේය. සංචාරය සමාප්තියේ එතුමන්ගේ සුරතින් කඳවුරු පරිශ්‍රයේ බෙලි පැළයක් ද රෝපණය කළේය.

යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානිතුමන් ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සුහද සාකච්ඡාවක නිරත වීමෙන් අනතුරුව රණවිරු ඇපරල් ආයතනයේ සේනාවිධායකතුමන් විසින් කළමනාකාරීත්ව මණ්ඩලයේ සාමාජිකයින්ගේ සේවය අගයමින් සංකේතාත්මක තිළිණයක් ප්‍රදානය කෙරිණි.

සංචාරය සමාප්තියේ, එතුමන් විශේෂ අමුත්තන්ගේ සමරු සටහන් පොත්හි සටහනක් ද තැබීය. මෙම අවස්ථාවට යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.