Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th April 2024 12:33:12 Hours

යූද්ධ හමුදාවේ මූලිකත්වයෙන් ප්‍රතිසංස්කරණය කරණු ලැබූ ගාල්ල, ශාන්ත ඇලෝසියස් විද්‍යාලයීය ‘Golden Lily’ ගොඩනැගිල්ල විවෘත කෙරේ

යුද්ධ හමුදා භටපිරිස් විසින් ප්‍රතිසංස්කරණය කරනු ලැබූ ගාල්ල, ශාන්ත ඇලෝසියස් විද්‍යාලයීය ‘Golden Lily’ ගොඩනැගිල්ල සිකුරාදා (අප්‍රේල් මස 26) දින පැවති උත්සවයකදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීයූ ගේ සුරතින් විවෘත කෙරිණි.

පාසල් පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් එම පාසලේ විදුහල්පති පුබුදු සම්පත් මහතා විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ. අනතුරුව එම පාසලේ අපරදිග තූර්ය වාදක කණ්ඩායම වෙතින් එතුමන් ප්‍රධාන ගේට්ටුව වෙත කැටුව යනු ලැබීය.

ඉන් අනතුරුව, ජාතික ශිෂ්‍යභට බලකාය විසින් ජනාධිපති වර්ණ සහිතව යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව එතුමන් ශාන්ත ඇලෝසියස් විද්‍යාලයීය රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකරන ලදී. පසුව, බටහිර ශිෂ්‍යභට තූර්ය වාදක කණ්ඩායම විසින් එතුමන් ‘Golden Lily’ ගොඩනැගිල්ල වෙත කැටුව යනු ලැබූ අතර, උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සමරු ඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව රැස්ව සිටි පිරිස සමඟින් එම පරිශ්‍රයේ සංචාරයක නිරත විය.

මහල් 4 කින් සමන්විත මෙම ‘Golden Lily’ ගොඩනැගිල්ල දිගු කාලයක් පුරාවට භාවිතා කිරීමට නොහැකි තත්ත්වයේ පැවති අතර, එම විද්‍යාලයේ විදුහල්පතිතුමන් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිදුකරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් 4 ඉංජිනේරු සේවා රෙජිමේන්තු භටපිරිස් විසින් එම ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරනු ලැබීය. මේජර් ජෙනරල් ටී.ජේ. කොඩිතුවක්කු (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, මේජර් ජෙනරල් කේ.එම්.එස්. කුමාර (විශ්‍රාමික) සහ මේජර් ජෙනරල් ඩී.ජී හේවගේ (විශ්‍රාමික) ආර්එස්පී ගේ සම්බන්ධීකරණය මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි.

ප්‍රතිසංස්කරණය කරනු ලැබූ ගොඩනැගිල්ල සුහුරු පන්ති කාමරයක්, ගෘහ විද්‍යාගාරයක්, ක්‍රීඩා ඒකකයක්, තොරතුරු තාක්‍ෂණ විද්‍යාගාර 02 ක්, පන්ති කාමර 06 ක් සහ අපරදිග සංගීත සහ නැටුම් කාමරයකින් සමන්විත වේ.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් පාසල් ගීතය ගායනා කිරීමෙන් අනතුරුව විදුහල්පතිතුමන් විසින් පිළිගැනීමේ කථාව පැවැත්වීය. අනතුරුව, එම පාසල අළලා නිර්මාණය කෙරුණු වාර්තාමය වීඩියෝපටයක් ප්‍රදර්ශනය කෙරිණි. පසුව, දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.

මෙම උත්සවය අතරතුරදී, විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ එම විද්‍යාලයේ ශිෂ්‍යභටයින් දෙදෙනෙකු වෙත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් ප්‍රශංසාත්මක සහතිකපත්‍ පිරිනැමිණි. ඒ අනුව, වසර 38 කට පසුව ශාන්ත ඇලෝසියස් විද්‍යාලයීය ශිෂ්‍යභටයන් වන බළලත් නිලධාරී 1 කේ.ඩී. කල්හාර, 1 ජාතික ශිෂ්‍යභට බලකායේ රෙජිමේන්තු සැරයන් මේජර් ධූරය සඳහා පත් වීමත්, ලාන්ස් කෝප්‍රල් එම්.ඩී.අයි.එච් සඳරුවන් දකුණු පළාත් ජාතික මට්ටමේ පුහුණු වෙඩික්කරුවෙකු බවට පත්වීමත් හේතුවෙන් ඔවුන් වෙත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් මෙම ප්‍රශංසාත්මක සහතිකපත්‍ පිරිනමණු ලැබීය.

මෙම උත්සවය වර්ණවත් කරමින් විවිධ සෞන්දර්යාත්මක අංගයන් කිහිපයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම්වරයා විසින් ස්තුති කථාව පවත්වන ලදී. උත්සවය අවසානයේදී යුද්ධ හමුදාධිපතිතුමන් එම පාසලෙහි ගුරුභවතුන් සහ සිසුන් සමඟින් සුහඳව අදහස් හුවමාරු කරගත්හ.

උත්සව අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම් ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, පාසල් ගුරුභවතුන් සහ සිසු සිසුවියන් පිරිසක් ද එක්ව සිටියහ