Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th April 2024 09:10:23 Hours

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්ලිව්.කේ.එන් ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 34 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්ලිව්.කේ.එන් ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2024 අප්‍රේල් මස 25 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් යුද්ධ හමුදාව වෙනුවෙන් ඉටුකළ අනුපමේය සේවය මෙම සුහද හමුවේදී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට ලක්විය. මව්බිම ත්‍රස්තවාදයෙන් මුදවාගැනීම වෙනුවෙන් 2009 මැයි මාසයට ප්‍රථම ක්‍රියාත්මක කළ මානුෂීය මෙහෙයුමේදී, යුද්ධ හමුදා විශේෂ බලකායේ සාමාජිකයෙකු ලෙස එතුමන් දැක්වූ දායකත්වය සහ අගනා කාර්යභාරය ද මෙහිදී යුද්ධ හමුදාධිපතිතුමන් සිහිපත් කළේය.

යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් රාජකාරී කාලසීමාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම් සහ තම රාජකාරින් ඉටුකිරීමේදී ලබාදුන් මඟපෙන්වීම පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකරන ලදී. මෙම සුහද හමුව සමාප්තියේ යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ සේවය ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්ලිව්.කේ.එන් ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ තිළිණයක් ද ප්‍රදානය කරනු ලැබීය.

මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්ලිව්.කේ.එන් ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පිළිබඳ කෙටි විස්තරයක් පහතින් දැක්වෙයි

වර්ෂ 1989 ජූලි මස 14 දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාව වෙත බැඳුණු මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්ලිව්.කේ.එන්. ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 32 සාර්ථකව හදාරා දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1991 ජනවාරි මස 19 දින ගැමුණු හේවා බලකායට සහ 1991 පෙබරවාරි මස 01 දින විශේෂ බලකාය වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලැබූ එතුමන් 2022 අගෝස්තු මස 03 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. වයස අවුරුදු 55 සම්පූර්ණ කරමින් 2024 මැයි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය බලකායෙන් විශ්‍රාම දිවියට පා තබන විට එතුමන් 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරය හොබවන ලැබූවේය.

එතුමන්ගේ කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුළ 6 ගැමුණු හේවා බලකායේ ඛණ්ඩභාර නිලධාරී, 1 විශේෂ බලකායේ ඛණ්ඩභාර නිලධාරි, 2 විශේෂ බලකායේ ඊ, එම් සහ පාලන බලඝණයන්හි නිලධාරී අණදෙන, 3 විශේෂ බලකායේ ආධාරක බලඝණයේ නිලධාරී අණදෙන (දිගු දුර විහිදුම් බලකාය), 2 විශේෂ බලකායේ ඊ බලඝණයේ දෙවන අණදෙන නිලධාරි, 22 පාබල සේනාංකයේ උපාය මාර්ගික මූලස්ථානයේ මෙහෙයුම් සම්බන්ධීකරණ නිලධාරී (දිගු දුර විහිදුම් බලකාය), 3 විශේෂ බලකායේ ක්‍රියාන්විත සහ පුහුණු නිලධාරි (දිගු දුර විහිදුම් බලකාය), 3 විශේෂ බලකායේ (දිගු දුර විහිදුම් බලකාය) දෙවන අණදෙන නිලධාරී, විශේෂ බලකා පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක, 3 විශේෂ බලකායේ කාර්ය නියුක්ත අණදෙන නිලධාරි (දිගු දුර විහිදුම් බලකාය), 5 විශේෂ බලකායේ සහ විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථාන බලඇණියේ අණදෙන නිලධාරී, විශේෂ බලකා ප්‍රථිත්‍රස්ථ කැලෑබද සටන් පුහුණු පාසලේ සහ විශේෂ බලකා පුහුණු පාසලේ සේනාවිධායක, 53 පාබල සේනාංක මූලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික, ගුවන් සංග්‍රාමික බලසේනාවේ කාර්ය නියුක්ත බලසේනාධිපති, විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, යුද්ධ හමුදා මූලස්ථාන සුභසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ, 21 පාබල සේනාංකයේ කාර්ය නියුක්ත සේනාංකාධිපති, 64 සහ 58 පාබල සේනාංකයන්හි සේනාංකාධිපති වැනි ධූරයන් රැසක් හොබවා ඇත.

මානුෂීය මෙහෙයුමේදී දැක්වූ නිර්භීතකම හේතුවෙන් එතුමන් වෙත ‘රණ වික්‍රම පදක්කම’ (තෙවරක්) ‘රණශූර පදක්කම’ (දෙවරක්) පිරිනමා ඇත.

එතුමන් සිය හමුදා දිවිය තුළ විශේෂ බලකා මූලික පාඨමාලාව, මූලික බුද්ධි පාඨමාලාව, රෙජිමේන්තු සංඥා නිලධාරීන්ගේ පාඨමාලාව, ඒකක ගිණුම්කරණ නිලධාරීන්ගේ පාඨමාලාව, Balance Style පාඨමාලාව, මූලික පැරෂුට් පාඨමාලාව (ඉන්දියාව), කමාන්ඩෝ පාඨමාලාව (ඉන්දියාව), තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව (බංග්ලාදේශය), මධ්‍ය වෘත්තීය පාඨමාලාව (පාකිස්ථානය), ප්‍රථිත්‍රස්ත කැලෑබද සටන් පුහුණු පාඨමාලාව (ඉන්දියාව), විශේෂිත අවි පුහුණු පාඨමාලාව (ඉන්දියාව), එක්සත් ජාතීන්ගේ අණදෙන නිලධාරීන්ගේ පාඨමාලාව (නෝර්වේ) සහ ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව (ඉන්දියාව) ඇතුළු දේශීය හා විදේශීය පාඨමාලා රාශියක් හදාරා ඇත.

එතුමන්, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සාමය සහ ගැටුම් නිරාකරණය පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව සහ ඉන්දියාවේ දේවි අහිල්‍යා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මට්ටමේ ආරක්‍ෂක කළමණාකරණය පිළිබඳ ඩිප්ලෝමාව වැනි උසස් අධ්‍යාපනික සහ හමුදා නොවන පාඨමාලා කිහිපයක් ද හදාරා ඇත.