Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th April 2024 18:06:19 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නව බලකාධිපතිතුමන් රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 25 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2024 අප්‍රේල් මස 04 දින පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගත්තේය.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම රෙජිමේන්තු මාණ්ඩලික නිලධාරින් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

රෙජිමේන්තු සරඹ භූමියේදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා භටපිරිස් විසින් නව බලකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල රෙජිමේන්තු සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීය. පසුව, එතුමන් රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියසදී මානුෂීය මෙහෙයුමේදී දිවිපිදු එම රෙජිමේන්තුවේ වීරෝදාර රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකළේය.

අනතුරුව, මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී නව ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබූ අතර එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ. මෙම අවස්ථාව සනිටුහන් කරමින් නව බලකාධිපතිතුමන් රෙජිමේන්තු කාර්ය මණ්ඩලය සමඟින් සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනීසිටියේය.

ඉන් අනතුරුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ නව බලකාධිපතිතුමන් සිය සේවා විෂය පථය සහ රාජකාරි ස්වභාවය පිළිබඳ දැනුවත් කළ අතර, එම රෙජිමේන්තුවේ ප්‍රතිරූපය ආරක්‍ෂා කිරීම සදහා කණ්ඩායම් හැඟීමෙන් යුතුව රාජකාරි ඉටුකිරීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළේය.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින්, සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ බලකාධිපතිතුමන් භටපිරිස් සමඟ සුහඳ පිළිසඳරක ද නිරතවිය.