Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd April 2024 21:54:40 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් ‘ෆොක්ස් හිල් සුපර් ක්‍රොස්’ තරඟාවලියේදී අනතුරට පත්වූවන්ගේ සුවදුක් විමසයි

‘ෆොක්ස් හිල් සුපර් ක්‍රොස්’ තරඟාවලියේදී සිදු වූ අනතුරෙන් තුවාල ලැබූවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ විමසාබැලීමේ අරමුණින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ දියතලාව මූලික රෝහලේ සංචාරයක නිරතවිය.

මෙම සංචාරයේදී, යුද්ධ හමුදාධිපතිතුමන් තුවාල ලැබූවන්ගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය සහ ඔවුන් වෙත ප්‍රතිකාර ලබාදීමේ ක්‍රියාවලිය පිළිබඳව වෛද්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කළේය. මෙම අනපේක්‍ෂිත සිදුවීම සම්බන්ධයෙන් දැඩි කණගාටුව ප්‍රකාශ කළ එතුමන් තුවාල ලැබූ පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සමඟින් ද අදහස් හුවමාරුවක නිරතවිය.

මෙම සංචාරය සඳහා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී, ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, විධායක ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්ව සිටියහ.

‘Fox Hill Supercross 2024’ තරඟාවලිය 2024 අප්‍රේල් මස 21 දින ‘Fox Hill Supercross’ ධාවන පථයේදී පැවැත්විණි. තරඟාවලිය අතරතුරදී, 1500cc Ford Laser Mazda 323 කාණ්ඩය යටතේ පැවැති 17 වන තරඟයේදී ආරම්භක ස්ථානයේ සිට මීටර් 150 ක් පමණ දුරින් පිහිටි pines corner ප්‍රදේශයේදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී ඇත. මෙලෙස ගැටුණු එක් මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැනීම හේතුවෙන් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තවත් පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

ඉන් අනතුරුව, වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝගීන් 10 දෙනෙකු බදුල්ල ශික්‍ෂණ රෝහල වෙත මාරුකර යවා ඇත. මෙම සිද්ධියෙන් පසුව සංවිධායක මණ්ඩලය වෙතින් තරඟාවලිය අත්හිටුවා ඇත.