Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st April 2024 13:19:50 Hours

ඉඩම් දේපල හා භඨනිවාස අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් පාලනය වන හාවාඑළිය නිවාඩු නිකේතනය විවෘත කරයි

ඉඩම් දේපල හා භඨනිවාස අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් හාවාඑළිය ප්‍රදේශයේ ඉදිකරන ලද තෙමහල් නිවාඩු නිකේතනය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් සෙනසුරාදා (අප්‍රේල් මස 20) දින විවෘත කරන ලදී.

මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී, යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ‍ජෙනරාල් මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිපී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී, යුද්ධ හමුදා ඉඩම් දේපල හා භඨනිවාස අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් එම්.පී.කේ. මදුරප්පෙරුම ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් උණුසුම් අයුරින් පිළිගත්හ.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සමරු ඵලකය නිරාවරණය කරමින් නව නිවාඩු නිකේතනය විවෘත කළේය.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් සහ එම අවස්ථාවට සපැමිණි පිරිස සමඟින් සම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වා කිරි ඉතිරවීමෙන් අනතුරුව නව නිවාඩු නිකේතනය නිරීක්‍ෂණය කළහ.

තෙමහල් ගොඩනැගිලකින් සමන්විත නව නිවාඩු නිකේතනය සෑම මහලක්ම අංග සම්පූර්ණ පහසුකම් සහිත කාමර තුනකින් සමන්විත වන අතර, ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධීක්‍ෂණය යටතේ 17 ඉංජිනේරු සේවා බලකාය විසින් නිවාඩු නිකේතනයේ ඉදිකිරීම් කටයුතු සිදු කළහ.

මීට සමගාමීව, යුද්ධ හමුදා සාමාජිකයින්ට අන්තර්ජාලය ඔස්සේ යුද්ධ හමුදා නිවාඩු නිකේතන වෙන්කරවා ගැනීමේ පහසුකම තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් නිර්මාණය කරන ලද 'My Portal' යෙදුමේ 'My Reservations' ලෙස නම් කර ඇති සේවාව සක්‍රීය කිරීම යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සිදුකරන ලදී.

නිවාඩු නිකේතනයේ ඉදිකිරීම් කටයුතු සිදුකළ ඉංජිනේරු සේවා බලකායේ නිලධාරීන් 05 දෙනෙකු සහ සෙසුනිලයන් 55 දෙනෙකු අතරින් නිලධාරීන් 03 දෙනෙකු සහ සෙසුනිලයන් 17 දෙනෙකු යුද්ධ හමුදාධිපතිතුමාගෙන් සංකේතාත්මක ඇගයීම් සහතික ලබාගැනීමෙන් අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළහ.

මෙම උත්සවය සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ටී.සී. මෙත්තානන්ද යූඑස්පී එන්ඩීසී, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.