Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th April 2024 16:50:05 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව වෙතින් අලුත් අවුරුදු සැමරුම් උත්සවයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව වෙතින් 2024 අප්‍රේල් මස 08 දින අලුත් අවුරුදු සැමරුම් උත්සවයක් පැවැත්වූ අතර ඒ සඳහා එම බලසේනාව යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද සහභාගී වූහ.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පි එන්ඩීයූ සමඟින් එතුමන්ගේ මැතිනිය වන ෂම්මි ජයවර්ධන මහත්මිය සහභාගී වූ අතර එම බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී සහ එතුමන්ගේ මැතිනිය වන නෙළුම් ද සිල්වා මහත්මිය විසින් ඔවුන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

පොල්අතු විවීම, කොට්ටපොර, අවුරුදු කුමරා සහ කුමරිය තේරීම, අලියාට ඇස තැබීම, කඹ ඇදීම, විකට ඇඳුම් තරඟය සහ සංගීත පුටු තරඟය ඇතුළු සාම්ප්‍රදායික ජන ක්‍රීඩාවන් රැසකින් මෙම අලුත් අවුරුදු සැමරුම් උත්සවය වර්ණවත් කෙරිණි.

උත්සවය සමාප්තියේදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ නියෝජ්‍ය සේනාවිධායකතුමන් විසින් ජන ක්‍රීඩාවන්ගේ ජයග්‍රාහකයින් වෙත සෞභාග්‍යමත් සිංහල සහ දමිළ අලුත් අවුරුද්දක් වෙනුවෙන් සිය සුභපැතුම් එක්කරමින් ත්‍යාග ප්‍රදානය කරනු ලැබීය. මෙම උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායකතුමන්ගේ ප්‍රධානත්වයෙන් එම බලසේනාව යටතේ සේවයේ නියුතු සිවිල් සේවක මහත්ම මහත්මීන් වෙත ත්‍යාග පාර්සල් පරිත්‍යාගයක් ද සිදුකෙරිණි.

අලුත් අවුරුදු සැමරුම් උත්සවයේ අවුරුදු කුමරා සහ කුමරිය තේරීම ‘Thilu Bridal Home & Beauty Salon’ හි මූලිකත්වයෙන් සිදුකෙරිණි.

මෙම අලුත් අවුරුදු සැමරුම් උත්සවය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ අනුග්‍රාහක භවතුන් පිරිසක් ද සහභාගී වූහ.