Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th April 2024 20:00:00 Hours

සැමට සෞභාග්‍යය, සතුට සහ සාමය උදාවන අලුත් අවුරුද්දක් වේවා!

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සිංහල සහ දමිළ අලුත් අවුරුදු පණිවිඩයක් නිකුත් කරමින් යුද්ධ හමුදාවේ සියලුම සාමාජිකයන්ට සෞභාග්‍යයමත් සුභ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරයි!

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ අලුත් අවුරුදු දින පණිවිඩය පහතින් දැක්වේ:

2024 වර්ෂයේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් යුද්ධ හමුදාධිපති විසින් නිකුත් කරනු ලබන පණිවුඩය

2024 වර්ෂයේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලුම සාමාජිකයින්ට ප්‍රථමයෙන්ම මාගේ සුභාශිංසනය පළකරමි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ උදාවන මෙම මංගල්‍යයේදී ශ්‍රී ලාංකිකයන් සතු සංස්කෘතිය, සුහදශීලීත්වය, සංහිඳියාව සහ සොබාදහම අතර පවතින සබඳතාවය වඩාත් ශක්තිමත් කරමින් ඉදිරි අනාගතය වඩාත් යහපත් අන්දමින් ගතකිරීමට අවශ්‍ය පෙරමඟ සකස්කර ගැනීමට අපේක්‍ෂා කරනු ලැබේ. විශේෂයෙන්ම පාරම්පරික සිරිත් විරිත් සුරකිමින් ඒවා ඉදිරියටත් පවත්වාගෙන යාමට එහිදී බලාපොරොත්තු වන අතර, නැකත් චාරිත්‍රවලට හා ආගමික කටයුතුවලට මූලිකත්වය ලබාදෙමින් අවුරුදු ක්‍රීඩා හා ආශිර්වාදයන් තුළින් එක් අරමුණක් වෙනුවෙන් ශ්‍රී ලාංකිකයින් එක් රොක්වන අවස්ථාවක් වශයෙන්ද හඳුනාගත හැකිය.

පසුගිය වර්ෂ කිහිපය ශ්‍රී ලංකාවාසී අප සියලු දෙනාටම අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් වූ බව පැහැදිලි කරුණකි. එහිදී, පැනනැඟුනු අපහසුතා දරාගෙන වෘත්තීයමය සහ විනයගරුක රණවිරුවන් ලෙස ඔබ සැම ඉටු කළ කාර්යභාරය බෙහෙවින් අගය කරමි. සන්නද්ධ හමුදා සේනාධිනායක හා ගරු ජනාධිපතිතුමන්ගේ දැක්ම අනුව ආරක්‍ෂක අංශ මෙන්ම සමස්ත රට වැසියන්ගේම කැපවීම මත මේ වනවිට අප රට ස්ථාවර තත්වයකට පත්වෙමින් තිබෙන බව දැකිය හැකිය. එම වාතාවරණයත් සමඟින් මෙවර අලුත් අවුරුද්ද සැමරීමට අවස්ථාව උදාවීම සතුටට කරුණක් බවද සඳහන් කරමි.

ඉතිහාසය පුරාවටම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, මාතෘභූමියත් එහි වාසය කරන ජනතාවගේත් ආරක්‍ෂාව වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියාකර ඇති බව ප්‍රත්‍යක්‍ෂ කරුණකි. විශේෂයෙන්ම ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා අප හමුදාව සිදුකළ කැපකිරීම් හා මෙහෙවර මුළු මහත් ජනතාවම කෘතඥතා පූර්වකව තවමත් සිහිපත් කරන බව රහසක් නොවේ. වර්තමානයේදී නැවුම් බලාපොරොත්තු සහිතව අලුත් අවුරුදු උදාව සැමරීමට හැකි වුයේ අභීත විරුවන්ගේ අසහාය කැපකිරීම් හා දායකත්වය නිසා බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඔවුන් සිදුකළ ඒ කැපකිරීම් මෙලෙස නිදහසේ අවුරුදු සැණකෙලි ආදිය සැමරීමට සුදුසු තත්වයක් උදාකිරීමට ඉවහල් වූ බව අමතක නොකළ යුතුය. එනිසා මාතෘභූමියේ ස්වෛරීත්වය හා නිදහස වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් මේ අවස්ථාවේදී ගෞරවයෙන් යුතුව සිහිපත් කරන අතර, රණක්‍ෂිතයට පත්ව තවමත් ප්‍රතිකාර ලබන විරෝදාර රණවිරුවන්ට ඉක්මන් සුවය ලැබේවායි ද ප්‍රාර්ථනා කරමි.

වර්තමානයේදී යුද්ධ හමුදාව තම රාජකාරීන් වෙනුවෙන් කැපවීමෙන්, සෞභාග්‍යමත් දේශයක් ගොඩනැඟීම උදෙසා දායකත්වය ලබාදෙන බවද මෙහිදී සිහිපත් කළ යුතුව ඇත. පසුගිය සමයේදී යුද්ධ හමුදාවේ විනයගරුක බව හා වෘත්තීයමය භාවය සමස්ත රට වැසියන්ට මෙන්ම ජාත්‍යන්තරයට පවා ප්‍රදර්ශනය වූ අතර තවදුරටත් ඔබ වෙත පැවරෙන වගකීම් මනාව ඉටුකිරීම සඳහා පුහුණුව මෙන්ම අභිමානවත් ආකල්ප වලින් පෝෂණය වීම අත්‍යාවශ්‍ය වේ. විශේෂයෙන්ම වෘත්තිය නිපුණත්වයෙන් පිරි සෙබලුන් පිරිසක් නිර්මාණය කිරීම යුද්ධ හමුදාධිපති වන මාගේ අරමුණ බවත් සඳහන් කරමි.

යුද්ධ හමුදාවට මුහුණ දීමට සිදුවූ සෑම අභියෝගයක්ම සාර්ථකව ජයගෙන ඇති බවත් ඉදිරියේදිත් ඒ අයුරින්ම කැපවීමෙන් සහ සහයෝගයෙන් රාජකාරි ඉටුකිරීම ඉතා වැදගත් බවත් පෙන්වා දෙමි. රටේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවට එරෙහිව පැමිණෙන තර්ජනයන් මැඩ පවත්වමින් මාතෘභූමිය ආරක්‍ෂා කරගැනීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රමුඛතම වගකීම බවත් අභිමානවත් හමුදාවක සාමාජිකයින් වශයෙන් ඔබ සැම ලබා ඇති ගෞරවය සහ කීර්ති නාමය තවදුරටත් ආරක්‍ෂා කරගනිමින් ඉදිරියේදීත් ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය බවත් සිහිපත් කරමි.

පසුගිය සමයේ යුද්ධ හමුදාවේත්, අප සාමාජිකයින්ගේත් ඉදිරි ප්‍රගමනය වෙනුවෙන් කාලානුරූපීව සිදුවිය යුතු ව්‍යුහාත්මක වෙනස්කම් කරමින් විශාල කාර්යභාරයක් ඉටු කිරීමට හැකි වූ අතර යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුභසාධනය වෙනුවෙන් ව්‍යපෘති ගණනාවක් ක්‍රියාත්මක කිරීමටත් හැකි වූ බව මේ අවස්ථාවේදී සිහිපත් කරමි. එසේම, සෙබළ ගරුත්වය ආරක්‍ෂාවන අයුරින් කටයුතු කිරීමට සුදුසු පසුබිමක් නිර්මාණය කිරීම සඳහා ක්‍ෂේත්‍ර මූලස්ථාන, රෙජිමේන්තු මධ්‍යස්ථාන, බළඇණි සහ පුහුණු පාසල් ඇතුළු සෑම යුද්ධ හමුදා කඳවුරකම යටිතල පහසුකම් ගොඩනැංවීමට අවධානය යොමුකර තිබෙන බවත් සිහිපත් කරමි.

වීරෝදාර රණවිරුවනි ‘රාජ්‍යයේ ආරක්‍ෂකයා’ වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත පැවරෙන වගකීම් නිසි අයුරින් ඉටුකිරීමට අප සැම නිරන්තරයෙන් බැඳී සිටින අතර එහිදී යුද්ධ හමුදාවේ විනය, කීර්තිනාමය හා ගෞරවය ආරක්‍ෂා කරගනිමින් කටයුතු කිරීම සියලු දෙනාගේම වගකීම බවත් සිහිපත් කරමි. අවසන් වශයෙන්, උදාවන්නා වූ සිංහල අලුත් අවුරුද්ද යුද්ධ හමුදා සේවයේ නියුතු සියලුම රණවිරුවන්ටත්, සිවිල් කාර්ය මණ්ඩලයටත්, සියලුම පවුල්වල ආදරණිය සාමාජිකයින්ටත් සතුට, සෞභාග්‍යය සපිරි වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරමි.

ඔබ සැමට තෙරුවන් සරණයි !!

එච්එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිපී ආර්එස්පී එන්ඩීයූ
ලුතිනන් ජෙනරල්
යුද්ධ හමුදාධිපති