Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th April 2024 13:59:02 Hours

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් ලයනල් කොතලාවල ගේ 127 වන ජන්ම දිනය අභිමානවත් අයුරින් සැමරේ

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයීය අනුස්මරණ සංගමය විසින් දිවංගත ජෙනරාල් ශ්‍රීමත් ජෝන් ලයනල් කොතලාවල සීඑච් කේබීඊ එල්එල්ඩී ගේ 127 වන ජන්ම දින සංවත්සරය වෙනුවෙන් ඉකුත් බ්‍රහස්පතින්දා (අප්‍රේල් මස 04) දින සැමරුම් උත්සවයක් සංවිධානය කරනු ලැබූ අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීයූ සහභාගී විය.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීයූ, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් එච්.ජී.යූ. ධම්මික කුමාර වීඑස්වී යූඑස්පී පීඑස්සී සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් ලයනල් කොතලාවල සීඑච් කේබීඊ එල්එල්ඩීගේ පවුලේ සාමාජිකයෙකු විසින් එම විශ්වවිද්‍යාල රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකරනු ලැබූහ. පසුව, අභාවප්‍රාප්ත ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පැවැත්වීය

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමන් පැමිණි සිටි පිරිස ආමන්ත්‍රණය කරමින් පිළිගැනීමේ කථාව සිදු කළේය.

මෙම උත්සවය අතරතුරදී, පිළියන්දල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය සහ කඳවල නවෝද්‍යා මහා විද්‍යාලයේ තෝරාගත් අවශ්‍යතා සහිත පාසල් සිසු සිසුවියන් 20 දෙනෙකු සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ සුළු සේවක කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ ළමුන් පිරිසක් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලැබීය. ඉන් අනතුරුව, උපකුලපතිතුමන් විසින් එදින යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැමිණීම ඇගයීමට ලක් කරමින් විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

හිරු නැගෙනා මොහොතේත් හිරු බැසයන මොහොතේත් වාදනය කරන බියුගල් නාදය වාදනය කිරීමෙන් අනතුරුව උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල වෙත ගෞරවාචාර පුදකරමින් ‘ද ඔඩේ’ ගායනා කරනු ලැබීය. උත්සවය අවසානයේදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් විශේෂ අමුත්තන්ගේ සමරු පොතෙහි සටහනක් තැබීය.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, උපාධි අපේක්‍ෂකයින් සහ උපාධි හදාරන විද්‍යාර්ථයින් පිරිසක් ද එක්ව සිටියහ.

හිටපු අගමැතිවරයෙකු වූ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල විසින් මෙම ආරක්‍ෂක විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා රත්මලානේ සුප්‍රසිද්ධ ‘කඳවල වලව්ව’ මන්දිරය ඇතුළු සිය පාරම්පරික දේපළ නොමසුරුව පරිත්‍යාග කළේය. එතුමන්ගේ පරිත්‍යාගශීලීත්වයට ගෞරවයක් ලෙස දිවයිනේ ප්‍රථම ආරක්‍ෂක විශ්වවිද්‍යාලය එතුමන්ගේ නමින් නිර්මාණය කෙරිණි. වර්ෂ 1981 දී ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ ආරක්‍ෂක අධ්‍යයන කටයුතු වෙනුවෙන් එම විශ්වවිද්‍යාලය විවෘත කෙරිණි. කොළඹ රාජකීය විද්‍යාලය තුළින් අධ්‍යාපනය හදාරා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගත් ශ්‍රීමත් ජෝන් කොතලාවල, ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව ජෙනරල් නිලය දක්වා උසස්වීම් ලබා කීර්තිමත් හමුදා දිවියක් ගතකළේය.