Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd April 2024 18:40:15 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව වෙතින් ශිෂ්‍යත්ව සහ මුදල් දිරිදීමනා පිරිනැමීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව වෙතින් එම බලසේනාව යටතේ සේවයේ නියතු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු සිදුකරන දරු දැරියන් 150 දෙනෙකු වෙනුවෙන් ශිෂ්‍යත්ව සහ මුදල් දිරිදීමනා පිරිනැමීමේ උත්සවයක් 2024 අප්‍රේල් මස 03 දින එම බලකා මූලස්ථාන පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය සහභාගී වූහ..

බලසේනා මූලස්ථානය වෙත සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව මුරය පසුකරයාමේ ගෞරවාචාරය (Drive Pass) පුදකිරීමෙන් අනතුරුව, එම බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ විසින් යුද්ධ හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

සාම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වා මානුෂීය මෙහෙයුමේදී රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වා උත්සවයේ කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව පිළිබඳ කෙටි වාර්තාමය වීඩියෝවක් ප්‍රදර්ශනය කෙරිණි.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායකතුමන් විසින් පිළිගැනීමේ කථාව සිදු කරන ලදී. අනතුරුව, අ.පො.ස. (උ/පෙළ) විභාගයෙන් විශිෂ්ඨ ලෙස ජයග්‍රහණ ලබාගනිමින් විශ්වවිද්‍යාල වරම් ලැබූ සිසු සිසුවියන් 25 දෙනෙකු වෙත රුපියල් 50,000.00 බැගින් මූල්‍යාධාර පිරිනමනු ලැබීය. එමෙන්ම, අ.පො.ස. (සා/පෙළ) විභාගයෙන් ‘ඒ’ සාමාර්ථ 9 ක් ලබාගත් සිසුන් 63 දෙනෙකු වෙනුවෙන් රුපියල් 25,000.00 බැගින් සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ සිසු සිසුවියන් 112 දෙනෙකුට රුපියල් 10,000.00 බැගින් වූ මුල්‍යාධාරන් පිරිනමනු ලැබිණි. තවත් ළමුන් 50 දෙනෙකු වෙත සංකේතාත්මකව මූල්‍ය දිරිදීමනා පිරිනැමූ අතර, ආරක්‍ෂක සේනා මූලස්ථානයන්හි සම්බන්ධීකරණය මත ඉතිරි මුදල අනෙකුත් ළමුන් වෙත පිරිනැමීමට නියමිතව ඇත.

මෙම උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් සහභාගි වූහ. ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී විසින් ස්තූති කථාව සිදුකල අතර, ශිෂ්‍යත්ව ලාභී සිසුවියක් විසින් ද සිය කෘතවේදීත්වය පුදකරමින් කථාවක් පැවැත්වීය. අනතුරුව, එම බලසේනාව පිළිබඳ නිර්මාණය කරන ලද ගීතයකට සවන් දීමට රැස්ව සිටි පිරිසට අවස්ථාව හිමි විය.

යුද්ධ හමුදාධිපතිතුමන් සිය දේශනයේදී, යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ඉතිහාසය සිහිපත් කරමින්, තම පියා එම බලසේනාවේ උන්නතිය වෙනුවෙන් දැක්වූ දායකත්වය සඳහන් කළේය. එහිදී එතුමන්, කැපවීමෙන් තම අධ්‍යාපන කටයුතු කරගෙන යාමට දරුවන් දිරිමත් කරමින් ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා සුභපැතුම් එක්කළේය.

උත්සව අවස්ථාව සමාප්තියේදී යුද්ධ හමුදාධිපතිතුන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සටහනක් ද තැබීය. මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ සිසු සිසුවියන්ගේ දෙමාපියන් ද එක්ව සිටියහ.