Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th March 2024 20:36:12 Hours

චීන හමුදා ප්‍රතිපාදන යෝජනා ක්‍රමය යටතේ ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ උපකරණ පරිත්‍යාගයක්

චීන හමුදා ප්‍රතිපාදන යෝජනා ක්‍රමය යටතේ ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කරනු ලැබූ පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ විශේෂ උපකරණ තොගයක් ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී ෂෙන්හොන්ග් (Qi Zhenhong) මහතා සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල් ගේ ප්‍රධානත්වයෙන් අද (මාර්තු මස 13) දින පෙරවරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත පරිත්‍යාග කෙරිණි.

මෙම උත්සව අවස්ථාව සඳහා සම්භාවනීය අමුත්තන් ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහ ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්‍ෂක උපදේශක කර්නල් ගාඕ බින් (Colonel Gao Bin) සහභාගී වූහ.

උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින්, දෙරටෙහි හමුදාවන් අතර අන්‍යෝන්‍යය සුහදත්වය පිළිබිඹූ කරන කෙටි වීඩියෝ පටයක් ද මෙහිදී ප්‍රදර්ශනය කෙරිණි. ඉන් අනතුරුව, කී ෂෙන්හොන්ග් (Qi Zhenhong) මහතා සහ ආරක්‍ෂක ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් උපකරණ පරිත්‍යාගයට අදාළ ලිපි ලේඛන සඳහා අත්සන් තැබිණි.

මෙහිදී, පුපුරණ ද්‍රව්‍ය හඳුනාගනිමින් ඒවා විනාශ කිරීමේ හැකියාවක් ඇති REOD 4000 නැමති රෝබෝ යන්ත්‍ර 18 ක් (REOD 4000 Explosive Ordnance Disposal medium robots), යම් කිසි පුපුරණ ද්‍රව්‍යයක් යම්කිසි ස්ථානයක සිට තවත් ස්ථානයක් කරා රැගෙන යාමේ විශේෂ හැකියාවක් ඇති රථ 18 ක් ( REOD 400 Explosive Ordnance Disposal robots), පුපුරණ ද්‍රව්‍යවලින් ආරක්‍ෂාවීමේ සුවිශේෂී හැකියාවක් ඇති කබා 10 ක් (ten Anti Explosive Blankets), පුපුරණ ද්‍රව්‍ය වලින් ආරක්‍ෂාවීමේ සුවිශේෂී හැකියාවක් ඇති මධ්‍යම ප්‍රමාණයේ රථ 10 ක් (Explotion Protection Tanks) සහ පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ උපකරණ තොගයක් මෙහිදී කී ෂෙන්හොන්ග් (Qi Zhenhong) මහතාගේ සුරතින් ආරක්‍ෂක ලේකම්තුමන් වෙත පරිත්‍යාග කරනු ලැබූ අතර, අනතුරුව ආරක්‍ෂක ලේකම්තුමන් ගේ සුරතින් එම උපකරණ තොගය සහ යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනමනු ලැබීය.

පසුව, මෙම අවස්ථාව සඳහා සහභාගී වූ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ආරාධිත අමුත්තන් විසින් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ ප්‍රයෝජනය වෙනුවෙන් පරිත්‍යාග කරනු ලැබූ මෙම පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ උපකරණ නිරීක්‍ෂණය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.