Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th March 2024 18:15:20 Hours

‘Pakistan Army Team Spirit Competition (PATS)’ තරඟාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩකයින් රන් පදක්කමක් දිනාගනී

2024 හත්වන ‘Pakistan Army Team Spirit Competition (PATS)’ තරඟාවලියේදී රන් පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම බ්‍රහස්පතින්දා (මාර්තු මස 07) දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ හමුවූහ. නිලධාරීන් 3 දෙනෙක් සහ සෙසුනිලයන් 8 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම දිනාගත් රන් පදක්කම මෙම අවස්ථාවේදී යුද්ධ හමුදාධිපතිතුමන් වෙත අභිමානවත් අයුරින් පිළිගැන්වූහ.

එම ක්‍රීඩකයින්ගේ දක්‍ෂතාවය සහ කැපවීම ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන් වෙත ඇගයීම් සංකේත පිරිනැමීය. ඔවුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය මඟපෙන්වීම් සහ උපදෙස් නිරන්තරයෙන් ලබාදෙමින් ජාත්‍යන්තර ක්‍රීඩකයින් සමඟ තරඟ කළ හැකි කණ්ඩායමක් ලෙස ඔවුන් හැඩගස්වීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශයන් එතුමන් විසින් ලබාදෙනු ලැබීය. එතුමන්ගේ දැක්ම, නායකත්වය සහ නොසැලෙන සහයෝගය තුළින් මෙම කණ්ඩායමේ සාමාජිකයන්ගේ සම්පූර්ණ හැකියාවන් කරා ළඟාවීමට සහ මෙම විශිෂ්ඨ ජයග්‍රහණය ලබාගැනීමට හැකියාව ලැබිණි.

මෙම තරඟාවලියට මුහුණදීමට ප්‍රථම එම ක්‍රීඩකයින් පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් කේ.පී.එස්.ඒ. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් හා පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ. විමලරත්න ආර්ඩබ්ලිව්පි ආර්එස්පී ගේ අධීක්‍ෂණය මත මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී මාසයක කාලසීමාවක පුහුණු වැඩසටහනකට සහභාගී වූහ. මෙම පුහුණු වැඩසටහන තුළින් එම ක්‍රීඩකයින් හට අවශ්‍ය කුසලතාවයන් ලබාදෙමින් ඔවුන් විශිෂ්ඨ ක්‍රීඩකයින් ලෙස ක්‍රීඩා කිරීමේ හැකියාව ප්‍රවර්ධනය කරනු ලැබීය.

මීට ප්‍රථම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ‘Pakistan Army Team Spirit Competition (PATS)’ තරඟාවලියේදී රිදී පදක්කම් 04 ක් සහ ලෝකඩ පදක්කමක් පමණක් දිනාගෙන ඇති බැවින් මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සුවිශේෂී සන්ධිස්ථානයක් වනු ඇත. මෙම තරඟාවලිය 2024 පෙබරවාරි මස 25 සිට 27 දින දක්වා පාකිස්ථාන ජාතික ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේදී පැවැත්විණි. ඇමරිකා එක්සත් ජනපදය, තායිලන්තය, කටාර්, සෞදි අරාබිය, මොරොක්කෝව, තුර්කිය, බහරේන් සහ ජෝර්දානය ඇතුළු රටවල් 12 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 22 ක් මෙම තරඟාවලිය සඳහා සහභාගී වූහ.

සොල්දාදුවන්ගේ ශාරීරික යෝග්‍යතාවය සහ ඔවුන් සතු හැකියාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම ‘Pakistan Army Team Spirit Competition (PATS)’ තරඟාවලිය පවත්වනු ලබයි. උපායශීලී සහ බුද්ධිමය හැකියාවන් තක්සේරු කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා අභියෝගාත්මක අභ්‍යාසයන් ලබාදීම එහි අරමුණ වේ. මිත්‍ර රටවල් සමඟ අත්දැකීම් හුවමාරු කරගැනීම සඳහා 2016 වර්ෂයේදී මෙම තරඟය ජාත්‍යන්තර ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීම ඇරඹිණි. 2023 වර්ෂය හැර 2016 වර්ෂයේ සිට සෑම වර්ෂයකම ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් මෙම තරඟයට සහභාගී වේ.

කණ්ඩායම්වල නොපසුබට උත්සහය, කණ්ඩායම් හැඟීම, උපායශීලී හා බුද්ධිමය හැකියාවන් වැඩිදියුණු කිරීම අරමුණු කොටගත් උපායශීලී අවස්ථා සහ පරික්‍ෂණ මාලාවකට භාජනය කිරීම මෙම තරඟාවලියේ පරමාර්ථය වේ. මෙම මෙහෙයුමට ත්‍රස්තවාදීන්ගේ ආධිපත්‍යය සහිත භූමි ප්‍රදේශයේ මුර සංචාරයක් ද ඇතුළත් වන අතර, කිලෝමීටර් 50-60 අතර දුරක් ආවරණය වන පරිදි උපායමාර්ගික පැවරුම් අවස්ථා 14 ත් 16 ත් අතර ප්‍රමාණයකට මුහුණ දීමට සිදුවනු ඇත. අවසාන පරමාර්ථය වන්නේ ත්‍රස්තවාදී ස්ථාන/ පුහුණු කඳවුරු පිළිබඳ නිවැරදී තොරතුරු ලබාගැනීම සහ සතුරන්ට හසුනොවී කඳවුර වෙත නැවත පැමිණීමයි.

ජයග්‍රාහී කණ්ඩායමේ සාමාජිකයන් පහතින් දැක්වේ:

විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ඒ.ඩී. එදිරිසූරිය පීඑස්සී
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලුතිනන් එම්.ඩී. වීරක්කෝඩි
විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලුතිනන් ආර්.ඩී.වී.පී.ටී. රාජපක්‍ෂ
ගැමුණු හේවා බලකායේ සැරයන් එන්.ටී. කසුන්
විජයබාහු පාබල රෙජිමේන්තුවේ සැරයන් ඒ.බී.එස්.බී. හේරත්
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් ඒ.ඩී.එම්.ඒ. බණ්ඩාර
ශ්‍රී ලංකා පාබල හමුදාවේ ලාන්ස් කෝප්‍රල් ජී.ජී.එස්. දිසානායක
විජයබාහු පාබල රෙජිමේන්තුවේ පාබල සෙබල පී.ඩබ්ලිව්.කේ.ඩී. ලක්මාල්
ශ්‍රී ලංකා පාබල හමුදාවේ පාබල සෙබල ඊ.ජී.පී.පී.කේ. එගොඩවෙල
විජයබාහු පාබල රෙජිමේන්තුවේ පාබල සෙබල එම්.ඒ.පී.එස්. මදුසංක
විජයබාහු පාබල රෙජිමේන්තුවේ පාබල සෙබල ඩබ්ලිව්.එම්.එන්.එච්. කුමාර