Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th May 2023 17:04:16 Hours

‘විශ්මිත හෙළ ඔසුව’ කෘතියෙහි පිටපතක් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිළිගන්වයි

යුද්ධ හමුදා විශේෂ බළකායේ රාජකාරි සිදුකරමින් සිටින අතරතුර මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසල විසින් පාලනය කරනු ලබන ‘Survival ඔසු උයනේ’ ඇති ඖෂධ පැළෑටි පිළිබඳ ලබාගත් දැනුම භාවිතා කරමින් 3 වන විශේෂ බළකායට අයත් කෝප්‍රල් එම්.ටී.අයි.එස් බණ්ඩාර විසින් රචනා කරන ලද ‘විශ්මිත හෙළ ඔසුව’ කෘතියෙහි මංගල පිටපත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත සඳුදා (29) දින පිරිනමනු ලැබීය. එම අවස්ථාවට යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ විශේෂ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩී.ජී.එස් සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ද සහභාගී විය.

කෘතිය මගින් කතුවරයා ඖෂධීය ශාක විශේෂ 100 ක් පමණ විස්තර ඉදිරිපත් කරමින් ඒවායේ විද්‍යාත්මක හා පොදු තොරතුරු, එම ශාකවල ‘ආයුර්වේද’ වටිනාකම සහ විවිධ රෝග සුව කිරීම සඳහා එම ශාක භාවිතා කල හැකි ආකාරය විස්තර කරයි. වර්ෂ 2018 - 2021 කාලය තුළ ඔහු ‘Survival Escape Evation and Combat’ පිළිබඳව උපදේශකවරයෙක් වශයෙන් කටයුතු කරඇති අතර, වර්ථමානය වන විට විශේෂ බළකා පුහුණු පාසලෙහි උපදේශකවරයෙකු ලෙස ද කටයුතු කරයි.

කෘතිය මගින් එම ඖෂධ පැළෑටි හඳුනාගැනීමට මාර්ගෝපදේශය සපයනු ලබන අතර, සමහර ශාක විශේෂ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බැවින් ඒවා නැවත වගා කිරීමේ වැදගත්කම පිළිබඳවත් සඳහන් කර ඇත.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් කෘතියේ කතුවරයා වෙත සුබපැතුම් එක් කළ අතර, එහිදී ඔහු වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරමින් ඇගයීමට ලක් කළේය.

යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ විශේෂ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩී.ජී.එස් සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, බ්‍රිගේඩියර් ආර්.පී.එස් ප්‍රසාද් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහ විශේෂ බලකා පුහුණු පාසලෙහි සේනාවිධායක කර්නල් ඩී.එස් හොරවලවිතාන ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මගපෙන්වීම යටතේ මෙම කෘතිය රචනාකර ඇත.