07th March 2023 19:32:45 Hours
ගුවන් හමුදාව වෙතින් 24 වන වරටත් සංවිධානය කරනු ලැබූ අදියර තුනකින් සමන්විත ‘ගුවන් හමුදා පාපැදි සවාරිය’ 2023 පසුගිය සෙනසුරාදා (04) දින අනුරාධපුරයෙන් අවසන් වූ අතර ඒ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාපැදි ධාවකයින් තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට සමත්වූහ. අදියර තුනෙහිම ජයග්‍රහණය හිමිකරගනිමින් සමස්ත ශූරතාවයට හිමිකම් කීමට සමත්වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාපැදි ධාවකයින් තරඟාවලියේ ප්රබලතම පාපැදි ධාවන කණ්ඩායම බවට පපත්විය. යුද්ධ හමුදා පාපැදි ධාවකයින් තරඟාවලිය ආරම්භයේ සිටම තම දස්කම් දක්වමින් කණ්ඩායම් හැඟීමෙන් යුතුව තරඟවැදී තරඟාවලියේ ශූරතාවය දිනාගත්හ. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සමඟ තියුණු ලෙස තරඟවැදුනු ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි කණ්ඩායම තරඟාවලියේ දෙවන ස්ථානය දිනාගැනීමට සමත්වූහ.
කොළඹ ගුවන් හමුදා මූලස්ථාන පරිශ්‍රයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (2) දින ආරම්භ වූ තරඟාවලියේ පිරිමි ඉසව්ව සඳහා දේශීය සහ විදේශීය පාපැදි ධාවකයින් 160 දෙනෙකු සහභාගී වූහ. තරඟාවලියේ පළමු අදියර ආරම්භ කරමින් තරඟකරුවන් කොළඹ සිට මහනුවර දක්වා කිලෝමීටර් 116.7 ක දුරක් ධාවනය කරනු ලැබූහ. ලාන්ස් කෝප්රල් තුෂාන් රාජපක්ෂ පැය 3 ක කාලයක් වාර්තාකරමින් තරඟාවලියේ පළමු අදියර ජයග්‍රහණය කළේය. තරඟාවලියේ දෙවන අදියර ආරම්භ කරමින් පල්ලෙකැලේ සිට පොළොන්නරුව දක්වා කිලෝමීටර් 146.7 ක දුරක් ධාවනය කෙරුණු අතර, පැය 3, මිනිත්තු 43 ක කාලයක් වාර්තා කරමින් දෙවන අදියරේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට ඉංජිනේරු සෙබල සාරංග පෙරේරා සමත්විය.
තරඟාවලියේ අවසන් අදියර හබරණ සිට අනුරාධපුරය දක්වා කිලෝමීටර් 132 ක දුරක් ධාවනය කෙරුණු අතර, ලාන්ස් කෝප්රල් තරිඳු තිසේරා විසින් පැය 2, මිනිත්තු 59 ක කාලයකින් එම අදියර සම්පූර්ණ කරමින් යුද්ධ හමුදා පාපැදි ධාවන කණ්ඩායම වෙත සමස්ථ තරඟාවලියේ ශූරතාවය හිමිකරදෙන ලදී. දිවයින පුරා වෙසෙන පාපැදි ධාවකයින් මෙන්ම විදේශීය පාපැදි ධාවකයින්ගෙන් සමන්විත වූ මෙම තරඟාවලිය සම්පූර්ණයෙන් කිලෝමීටර් 395.4 ක දුරක් ආවරණය කරමින් පැවැත්වුණු අතර පැය 9, මිනිත්තු 43, තත්පර 31 ක කාලසීමාවක් තුළ සම්පූර්ණ තරඟාවලිය අවසන් කර ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාපැදි කන්ඩායම සමත්විය. ‘ගුවන් හමුදා පාපැදි සවාරිය’ ජාත්‍යන්තර තලයේ තරඟාවලියක් බවට පත්කරමින් සහභාගී වූ ඉන්දීය ගුවන් හමුදා කණ්ඩායමේ සාමාජිකයන් ද දස්කම් දක්වමින් ශ්‍රී ලාංකික ක්‍රීඩයින්ට විශාල අභියෝගයක් එල්ල කළහ.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදා ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් චන්න වීරසූරිය තරඟාවලිය පුරාවටම යුද්ධ හමුදා පාපැදි ධාවකයින්ට අවශ්‍ය දිරිගැන්වීම් සහ සහයෝගය ලබාදුන්හ. යුද්ධ හමුදා පාපැදි කමිටුවේ සභාපති සහ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් රන්ජන් ජයසේකර සහ එම කමිටුවේ උපසභාපති කර්නල් මහේෂ් ගුණසේකර ගුවන් හමුදා මූලස්ථානයේදී පැවති මෙම තරඟාවලියේ ආරම්භක අවස්ථාවට සහ තරඟාවලියේ සමාප්තිය සිදුකෙරුණු අනුරාධපුර සල්ගාදු පිටියට සහභාගී වූහ. අනුරාධපුර ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේ පැවති ත්‍යාග ප්රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ සහභාගී විය.
තරඟාවලියේ දක්ෂතා දැක්වූ යුද්ධ හමුදා ධාවන ශූරීන් පහතින් දැක්වේ:
පිරිමි ඒකල ශූරතාවය
ප්‍රථම ස්ථානය - ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ලාන්ස් කෝප්රල් තුෂාන් රාජපක්ෂ
දෙවන ස්ථානය - ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉංජිනේරු සෙබල අවිශ්ක මෙඩොන්සා
තෙවන ස්ථානය - ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ලාන්ස් කෝප්රල් තරිඳු තිසේරා
පිරිමි කණ්ඩායම් ශූරතාවය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම පිරිමි කණ්ඩායම් අනුශූරතාවය - ශ්‍රී ලංකා ගුවන් හමුදාව
සමස්ත පිරිමි ඒකල ශූරතාවය - ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ලාන්ස් කෝප්රල් තුෂාන් රාජපක්ෂ
සමස්ත පිරිමි ඒකල අනුශූරතාවය - ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉංජිනේරු සෙබල අවිශ්ක මෙඩොන්සා
කාන්තා ඒකල ශූරතාවය
කාන්තා ඒකල තරඟාවලියේ 4 වන ස්ථානය - ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ලාන්ස් කෝප්රල් මදුමාලි ප්‍රනාන්දු
කාන්තා ඒකල තරඟාවලියේ 8 වන ස්ථානය - ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ලාන්ස් කෝප්රල් අකාශා සඳමිණී
කාන්තා ඒකළ තරඟාවලියේ 10 වන ස්ථානය - ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කෝප්රල් උදේශානි නිරංජනී