Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th April 2023 09:00:25 Hours

‘ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති අභියෝගතා කුසලාන අත්පන්දු තරඟාවලිය - 2023’ සාර්ථකව අවසන්

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ගේ උපදෙස් මත එම මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයට සමගාමීව සංවිධානය කරන ලද ‘ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති අභියෝගතා කුසලාන අත්පන්දු තරඟාවලිය - 2023’ අවසන් තරඟය පසුගිය සඳුදා (03) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපද ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර සහ ඒ යටතේ ස්ථාපිත සේනාංක සහ බලසේනා නියෝජනය කරමින් අත්පන්දු කණ්ඩායම් 10 ක් තරඟ වට දෙකක් යටතේ තරඟවැදිණි. අවසන් තරඟය සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර සහ 143 වන පාබල බලසේනා අත්පන්දු කණ්ඩායම් සුදුසුකම් ලැබූ අතර, මෙම අත්පන්දු තරඟාවලියේ මූලික තරඟයන් 2023 මාර්තු මස 27 සිට 29 දින දක්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.

අවසන් තරඟයේදී ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර අත්පන්දු කණ්ඩායම, 143 වන පාබල බලසේනා අත්පන්දු කණ්ඩායම වට 3 – 0 ක් ලෙස පරදවා තරඟයේ ජයග්‍රහණය හිමිකරගත්හ. මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මෙම උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ විශාල ප්‍රේක්‍ෂක පිරිසක් ද සහභාගී වූහ.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත ත්‍යාග ප්‍රදානෝත්සවයේ දස්කම් දැක්වූ ක්‍රීඩකයින් පහත පරිදි වේ.

තරඟාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා: ලාන්ස් කෝප්‍රල් ඩී.එච්.එස් දේවින්ද - ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර

හොඳම ප්‍රහාරකයා: ලාන්ස් කෝප්‍රල් පී.එච්.අයි.පී.යූ මධුෂාන් - 143 වන පාබල බලසේනාව

හොඳම පන්දු සකසන්නා: ලාන්ස් කෝප්‍රල් පී.වී ආර් සඳරුවන් - ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර

දක්‍ෂතම පිටිය රකින්නා: සාමාන්‍ය සෙබල එම්. චතුරංග - ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර