Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th January 2024 19:11:53 Hours

සැඟවුණු වෙඩික්කරු පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන්

දියතලාව, ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසල මඟින් මාස එකොළහක කාල සීමාවක් පුරාවට පවත්වනු ලැබූ සැඟවුණු වෙඩික්කරු පුහුණු පාඨමාලාව සාර්ථකව හදාරනු ලැබූ සිසුන්ගේ විසිරයාමේ සහ නිල ලාංඡන පැළඳවීමේ උත්සවය පසුගිය දා පැවැත්විණි. මෙම විසිර යාමේ පෙළපාලිය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම පුහුණු පාසලේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී. කාරියවසම් ගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පිඑස්සි සහභාගී විය.

ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සහතිකපත් සහ සම්මාන ප්‍රදානය කරමින් සිසුන් වෙත සිය සුභාශිංසන පිරිනැමීය. එහිදී, නිලධාරීන් 02 දෙනෙක් සහ සෙසුනිලයන් 16 දෙනෙකු සැඟවුණු වෙඩික්කරුවන් ලෙස සුදුසුකම් ලැබූ අතර, ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් විශේෂ සම්මානයෙන් පිදුම් ලැබූ පාඨමාලාවේ දක්‍ෂතා දැක්වූ නිලධාරින් සහ සෙසුනිලයින් පහත සඳහන් වේ.

දක්‍ෂතම වෙඩික්කරු - විජයබාහු පාබල රෙජිමේන්තුවේ කපිතන් ඩබ්.ඒ.කේ.එම්. ප්‍රදීප් කුමාර.

හොඳම ශාරීරික යෝග්‍යතාවයෙන් හෙබි ශිෂ්‍යයා - කමාන්ඩෝ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් පී.එස්. රූපසිංහ.

සෑම අතින්ම අතිශූර ශිෂ්‍යයා - කමාන්ඩෝ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් කේ.එච්.ඒ.ජී. නිරෝෂන්.