24th November 2023 06:08:00 Hours
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) උතුරු අංශයේ සේවයේ නිරතව සිටින භටපිරිස්හි ක්‍රියාන්විත රාජකාරීන්හි සමාප්තිය සනිටුහන් කරන අවස්ථාව සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිත සහ මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ ප්‍රධානී එම් අල් ගාසීම් වේන් (Mr. M. EL-Ghassim Wane) මහතා ප්‍රමුඛ නියෝජිත කණ්ඩායමක් 2023 නොවැම්බර් මස 09 වන බ්‍රහස්පතින්දා දින ගාඕ ප්‍රදේශයේ පිහිටි කඳවුරු පරිශ්‍රයේ නිල සංචාරයක නිරතවිය.
මෙම සංචාරයේදී, එම මූලස්ථානය යටතේ සේවයේ නියුතු විදේශීය රටවල් නියෝජනය කරන සිවිල් වැසියන් සහ හමුදා සාමාජිකයන්ගේ සේවය එම් අල් ගාසීම් වේන් මහතාගේ පැසසුමට ලක්විය. එමෙන්ම, දැනට ‘District East’ ලෙස නම්කර ඇති අංශ දෙකෙහිම ස්ථාවර පරිසරයක් නිර්මාණය කිරීමට ඉමහත් සේවාවක නිරත වූ සියලුම සාමසාධක භටපිරිස් සහ සිවිල් කාර්යය මණ්ඩලය වෙත සිය අවංක කෘතඥතාව පුදකළේය.
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ සාමසාධක රාජකාරීන් ආරක්‍ෂිතව සහ සාමකාමීව අවසන් කිරීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය උපදෙස් ද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිත සහ මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ ප්‍රධානී විසින් ලබාදුන්නේය.
මෙම අවස්ථාවේදී, මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථානය වෙත සිදුකරනු ලැබූ වෘත්තීමය සේවාව ඇගයීමට ලක්කරමින් එම මූලස්ථානයේ බලකාධිපතිතුමන්ගේ සුරතින් ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් තුනක සාමාජිකයන් වෙත ප්‍රශාංසාත්මක සහතිකපත් ප්‍රදානය කෙරිණි.
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ නැගෙනහිර දිස්ත්‍රික් අණදෙන නිලධාරිතුමන්ගේ ඉල්ලීමකට අනුව 5 වන සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩායම වෙතින් මෙම උත්සවයේ සංවිධාන කටයුතු සිදුකරනු ලැබීය.