Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th November 2022 18:08:04 Hours

සඳහිරු සෑ රඳුන් අභියස ප්‍රථම කඨින පූජෝත්සවය ආරක්‍ෂක අංශ සාමාජිකයන්ගේ බැතිබර දායකත්වයෙන්

මව්බිමේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය වෙනුවෙන් සිය ජීවිතය පූජා කළ ත්‍රිවිධ හමුදා රණවිරුවන්, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක බලකායේ විරෝදාර රණවිරුවන් සිහිකිරීම, රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට ආශිර්වාද එක් කිරීම සහ තිස් වසරක යුද්ධයේ නිමාව සනිටුහන් කරමින් අනුරාධපුරයේ ඉදිකල සඳහිරු සෑ චෛත්‍ය රාජ්‍යාණන් වහන්සේ අභියස පවත්වනු ලබන ප්‍රථම කඨින චීවර පූජාව ඉකුත් බ්‍රහස්පතින්දා (03) දින ආරක්‍ෂක අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී. ‍

කඨින පූජෝත්සවය සඳහා ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරන, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් රංජන් ළමාහේවගේ (විශ්‍රාමික), ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ගේ භාර්යාවන්, ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි, 21, 54 සහ 56 වන සේනාංකයන්හී සේනාංකාධිපතිවරුන්, ආඥාපති ඉදිරි නඩත්තු ප්‍රදේශ - උතුරුමැද, යුද්ධ හමුදා විධායක ජෙනරල්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, යුද්ධ හමුදා සාමාජිකයින් ඇතුලු සැදැහැවතුන් පිරිසක් සහභාගී වූහ.

ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස පැවති කඨින පුජෝත්සවයේ සමාරම්භක උත්සව අවස්ථාව සඳහා සහභාගී වූ විශ‍්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හා ගුවන් හමුදාපතිවරුන් ගේ සහභාගීත්වයෙන් පැවති යුද්ධ හමුදාව විසින් සංවිධානය කරන ලද විචිත්‍රවත් පෙරහැරකින් බෙර වාදකයින්, නර්තන ශිල්පීන්, ධජ ඔසවන්නන් සහ යුද්ධ හමුදා සංස්කෘතික කණ්ඩායම් සාමාජිකයින් ඉමහත් භක්තියෙන් සහ ගෞරවයෙන් ‘කඨින චීවරය’ සඳහිරු සෑ මළුව වෙත වැඩම කරවනු ලැබීය.

ඉන් අනතුරුව මැදවච්චිය කිදලේගම ශ්‍රී දළදා විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය (ආචාර්ය) රාජකීය පණ්ඩිත වත්තේවැව සුමන හිමියන් වෙත සම්ප්‍රදායික ‘දැහැත් විට්ටිය’ පිළිගැන්වීමෙන් අනතුරුව උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් එම අවස්ථාව සඳහා වැඩමකළ භික්‍ෂූන් වහන්සේලා ආගමික වතාවත් සිදුකරන ලදී.

සිකුරාදා (4) අලුයම වනතුරු පැවැති මෙම ආගමික වතාවත් බුද්ධ කාලයේ සිට සම්ප්‍රදායානුකූලව පවත්වාගනෙ එනු ලැබු චාරිත්‍රයන්ට අනුකූලව සිදුකළ අතර, කඨින චීවරය, වස් සීලය සමාදන් වූ භික්ෂූන් වහන්සේට ඉමහත් භක්තියෙන් යුතුව පූජා කරන ලදී. අනතුරුව භික්‍ෂූන් වහන්සේලා උදෙසා හීල් දානය පිළිගන්වනු ලැබු අතර, යුද්ධයේදී දිවිපිදු වීරෝදාර රණවිරුවන්, රණක්‍ෂිතයට පත් විරුවන් සහ සේවයේ නියුතු විරෝදාර රණවිරුවන් මෙන්ම රටටත් ජනතාවට පිං අනුමෝදන් කර ආශිර්වාද එක්කරන ලදී.

සිකුරාදා (4) දහවල් මහා සංඝරත්නය උදෙසා ‘සාංගික දානය’ පිළිගැන්වීමෙන් පසු කඨින චීවර පිංකම සාමාප්තියට පත්විය. සඳහිරුසෑයේ ප්‍රථම කඨින පිංකම නාවික හා ගුවන් හමුදා සාමාජිකයින්ගේ සහයෝගය ඇතිව යුද්ධ හමුදාව විසින් සංවිධානය කරන ලදී.

මව්බිමේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය වෙනුවෙන් සිය ජීවිතය පූජා කළ ත්‍රිවිධ හමුදා රණවිරුවන්, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක බලකායේ විරෝදාර රණවිරුවන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් සිහිකිරීම සඳහා ඉදිකරන ලද ‘සඳහිරු සෑය’ සමස්ථ බුද්ධ ශාසනයේ චිරස්තිතිය උදෙසා සඝ සතුකොට භක්ත්‍යාදරයෙන් යුතුව පූජා කරන ලදී.