Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th November 2023 20:33:19 Hours

සංඥා බලකායේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙත නව නිවසක් ඉදිකර දෙයි

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත 1 ශ්‍රී ලංකා සංඥා බලකායට අයත් ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙත රුපියල් මිලියන 1.5 ක මුදලක් වැයකර ගම්පොල, අටබාගේ ප්‍රදේශයේ ඉදිකරනු ලැබූ නව නිවස පසුගියදා නිල වශයෙන් භාර දෙන ලදී.

යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා නිවාස ලබාදීමේ ව්‍යාපෘතියේ VIII අදියර යටතේ යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිළධාරී සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ මෙම නිවස ඉදිකරන ලදී.

1 ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස්හි ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම භාවිතා කරමින් ඉදිකරන ලද නව නිවස පසුගිය සිකුරාදා (නොවැම්බර් මස 10) දින පැවති උත්සවයකදී ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නිලධාරීන්, පවුලේ සාමාජිකයන් සහ ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් නිවාස ලාභීන් වෙත පවාරා දෙනු ලැබීය.

ආගමික වතාවත් වලින් අනතුරුව උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිළධාරී සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස් රත්නායක එන්ඩීයූ ගේ සුරතින් නවාස ලාභී ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරි වෙත සංකේතාත්මකව නිවසේ යතුර ප්‍රදානය කරන ලදී.

මහා සංඝරත්නයේ සෙත්පිරිත් සච්ඡායනා මධ්‍යයේ කිරි ඉතිරවීමේ චාරිත්‍රයන් සිදුකර පීත්ත පටිය කපා ප්‍රථිලාභීන් වෙත නව නිවස භාරදෙන ලදී. එම අවස්ථාවට ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.කේ.ඩී අධිකාරි යූඑස්පී, සංඥා බලකායේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එස්.ජේ.කේ.ඩී ජයවර්ධන යූඑස්පී පීඑස්සී, සංඥා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් එම්.ඒ.කේ ජයවර්ධන පීඑස්සී, 1 ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරී මේජර් ජී.ටී.කේ ද සිල්වා ආර්එස්පී යූඑස්පී එල්එස්සී, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරීන්, රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු සෙසු නිලයින් පිරිසක් සහභාගි වූහ.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත යුද්ධ හමුදාව විසින් මෙම නිවස ඉදිකිරීමේ වියදමින් කොටසක් ලබාදුන් අතර, සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය සහ සුභසාධන අධ්‍යක්‍ෂ මණ්ඩලය ද නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියට දායකත්වය දැක්වීය.