Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th October 2023 22:15:49 Hours

ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවෙන් එම බලකායේ සාමාජිකයන්ගේ පවුල් වල අධ්‍යාපනය හදාරණ සිසුන් සඳහා පාසල් උපකරණ සහ ශිෂ්‍යත්ව ප්‍රදානයක්

ශ්‍රී ලංකා සංඥා බලකායේ 80 වන සංවත්සරයට සමගාමීව සහ ලෝක ළමා දිනය නිමිත්තෙන් එම බලකා සේවා වනිතා ශාඛාව මගින් ශ්‍රී ලංකා සංඥා බලකා සාමාජිකයන්ගේ පවුල් වල අධ්‍යාපනය ලබන සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා සුභසාධන වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් මස 26) දින පවත්වනු ලැබීය.

වැඩසටහන සඳහා රුපියල් මිලියන 9ක පමණ මූල්‍යමය අනුග්‍රාහකත්වය PrintXcel, Atlas Axillia Company යන පුද්ගලික සමාගම් සහ සංඥා බලකා සේවා වනිතා ශාඛාව මගින් පිරිනමනු ලැබීය.

උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවෙහි සභාපතිනී නාලිනී රත්නායක මහත්මියගේ ආරාධනයෙන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය සහභාගී වූ අතර, එහිදී පාසල් සිසුන්112 දෙනෙකු වෙත පරිත්‍යාගයන් සිදුකරනු ලැබිණි.

උත්සවයේදී 1 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා පාසල් අධ්‍යාපනය ලබන සිසුන් සඳහා පාසල් උපකරණ සහ ශිෂ්‍යත්ව ප්‍රධානය කරනු ලැබීය. එහිදී, මන්නාරම ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරියෙහි යේදී සිටියදී වර්ෂ 1999 දී රට වෙනුවෙන් දිවිපිදූ 3 සංඥා බලකායට අයත් වීරෝදාර රණවිරුවෙකුගේ පේරාදෙණිය වෛද්‍ය පීඨයේ තුන්වන වසරේ අධ්‍යාපනය ලබන දියණියක් වෙත ඇයගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් වනතුරු මසකට රුපියල් 10,000.00 බැගින් වූ ශිෂ්‍යත්වයක් පිරිනමන ලද අතර, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් පාසල් සිසුන් අවශ්‍ය ලිපි ද්‍රව්‍ය සහ අභ්‍යාස පොත් ඇසුරුම්ද මෙහිදී බෙදා දුන්හ.

උත්සව අවස්ථාවේ එම පාසල් සිසුන්ට ඉංග්‍රීසි භාෂා ක්ෂේත්‍රයේ අධ්‍යාපනය සඳහා මනා පිටුවහලක් වන ‘තක්සලාව’ අධ්‍යාපනික අන්තර්ජාල සහ ජංගම යෙදුම ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් එළිදැක්වීම ද සිදුකෙරිණි.

වැඩසටහන අවසානයේදී ‘තක්සලාව’ අධ්‍යාපනික මෘදුකාංගය නිර්මාණය කරන ලද සාමාජිකයින් ඇගයීමට ලක්කරමින් සහතික පත් ප්‍රදානය කිරීමද සිදුවිය.

ශ්‍රී ලංකා සංඥා බලකායේ සෙසු නිලයන්ගේ සහ සිවිල් සේවක මහතුන්ගේ පවුල් වල පාසල් අධ්‍යාපනය ලබන පාසල් සිසුන් 2700 කට අධික පිරිසක් වෙත පාසල් උපකරණ සහ මූල්‍යමය ආධාර ප්‍රදානය කරනු ලැබූ අතර, එහිදී පාසල් සිසුන් 112 දෙනෙකු වෙත සංකේතාත්මකව පාසල් උපකරණ සහ ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලැබීය.

උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරී සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස් රත්නායක එන්ඩීයූ, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ‘Printxcel’ පුද්ගලික සමාගම් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ශනිල් සෙනරත් මහතා, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ප්‍රතිලාභීන් සහ එම පවුල්වල සාමාජිකයින් විශාල පිරිසක් සහභාගී වූහ.