Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th March 2023 18:47:04 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ මූලිකත්වයෙන් පාසල් සිසු සිසුවියන්ට මූල්‍යධාර ප්‍රදානය කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ රාජකාරි කරනු ලබන හමුදා සාමාජිකයන්ගේ පවුල් වල අධ්‍යාපනය ලබන පාසල් සිසු සිසුවියන් 46 දෙනෙකු වෙත රුපියල් මිලියන 3ක් වටිනා මුල්‍ය ප්‍රදානයන් බෙදාදීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සංජය වනසිංහගේ ප්‍රධානත්වයෙන් එම බලසේනා ශ්‍රවණාගාරයේදී පසුගිය බ්‍රහස්පතින්දා (23) දින පැවැත්විණි. ශ්‍රී ලංකා රක්‍ෂණ සමාගමේ ‘විරු සවිය’ රක්‍ෂණ යෝජනා ක්‍රමය යටතේ 10 වන වතාවට මෙම මූල්‍යමය ප්‍රදානයන් ලබාදීමේ වැඩසටහන සිදුකරනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් තුසිත සිල්වා ගේ අධීක්‍ෂණය සහ ශ්‍රී ලංකා රක්‍ෂණ සමාගමේ සම්බන්ධීකරණය මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ රාජකාරි කරනු ලබන හමුදා සාමාජිකයන්ගේ පවුල් වල අ.පො.ස. (උ/පෙළ) විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබූ පාසල් සිසු සිසුවියන් වෙත ‘විරු සවිය’ රක්‍ෂණ යෝජනා ක්‍රමය යටතේ රු.75,000.00 ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදුකරනු ලැබිණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ විශේෂ මණ්ඩලයක් මඟින් සිදුකරනු ලැබූ සම්මුඛ පරික්‍ෂණයකින් පසුව මෙම පරිත්‍යාගය සඳහා ප්‍රතිලාභීන් තෝරා ගන්නා ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි මේජර් ජෙනරල් සංජය වනසිංහ, ශ්‍රී ලංකා රක්‍ෂණ සමාගමේ තොරතුරු තාක්‍ෂණ අංශ ප්‍රධාන විධායක නිලධාරී ආලෝක ජයවර්ධන, ජ්‍යෙෂ්ඨ කළමණාකාර රවී ‍මෙන්ඩිස්, සහකාර කළමණාකාර සහ ප්‍රධාන ගණකාධිකාරී රොමේන්ද්‍ර ප්‍රනාන්දු යන මහත්වරුන් සමඟින් එක්ව ප්‍රතිලාභින් වෙත මූල්‍යමය පරිත්‍යාගයක් සිදුකරනු ලැබූහ.

ප්‍රතිලාභීන් වෙත සංකේතාත්මකව මූල්‍යමය ප්‍රදානයන් පිරිනැමීමේ අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, ආරාධිතයන් සහ ප්‍රතිලාභීන්ගේ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

උත්සවය ආරම්භයේ පිළිගැනීමේ කථාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ බ්‍රිගේඩියර් පාලන බ්‍රිගේඩියර් එම්.ඩී.බී.එම්.එස් ජයමාන්න විසින් සිදුකරන ලද අතර, වැඩසටහන අතරතුර පැවැත්වූ විනෝදාත්මක සහ සංස්කෘතික අංගයන්ගෙන් මෙම උත්සවය වඩාත් වර්ණවත් විය.

මේජර් ජෙනරල් සංජය වනසිංහ, උත්සව අවස්ථාවට රැස්ව සිටි පිරිස අමතමින් ප්‍රතිලාභීන් වෙත සිය සුභාශිංසනයන් එක්කළ අතර, උසස් අධ්‍යාපනය ලැබීමට සූදානමින් සිටින මෙම සිසු සිසුවියන්ගේ අනාගතය වෙනුවෙන් සිදුකර ඇති මෙම වැඩසටහන පිළිබඳව ද සියලුම සංවිධායකවරුන්ට සිය කෘතවේදීත්වය පළකළේය. අනතුරුව, පැවති තේ පැන් සංග්‍රහය අතරතුර මේජර් ජෙනරල් සංජය වනසිංහ සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සියලුම ප්‍රතිලාභීන්, දෙමාපියන් සහ ආරාධිතයින් සමඟ සුහඳ අදහස් හුවමාරුවක ද නිරත වූවේය.