Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th September 2023 15:30:19 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි 14 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ භටපිරිස් අමතයි

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානය (UNIFIL) යටතේ සේවයේ නියුතු 14 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ (SLFPC) පදක්කම් ප්‍රධානෝත්සවය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහ විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් විදේශ මෙහෙයුම් කර්නල් පී.පී.සී. පෙරේරා පසුගිය බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් මස 07) දින ලෙබනනයේ, නකෝරා හි පිහිටි ග්‍රීන්හිල් කඳවුරු පරිශ්‍රයේදී ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ භටපිරිස් ආමන්ත්‍රණය කරනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානිතුමන් සිය දේශනය පවත්වමින් එක්සත් ජාතීන්ගේ සාමසාධක භටයෙකු වශයෙන් ලෙබනනයේ ජනතාවගේ හදවත් දිනාගනිමින් විනයගරුක පිරිමි සහ කාන්තා සොල්දාදුවන් ඔවුන් ඉටුකරනු ලබන සේවය ඇගයීමට ලක්කළේය. එමෙන්ම, එක්සත් ජාතීන්ගේ සාමසාධක භූමිකාවන් සඳහා සහභාගී වී මව්බිමේ සංවර්ධනය සඳහා ඔවුන් දක්වන දායකත්වය ද එහිදී පැසසුමට ලක්විය.

භටපිරිස් ආමන්ත්‍රණයෙන් අනතුරුව, සංචාරයේ නියුතු දූත පිරිස 14 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩී.පී.එල්.ටී. කළුඅග්ගල සමඟින් එම කඳවුරු පරිශ්‍රයේ ක්ෂේත්‍ර සංචාරයක නිරතවෙමින් එම මූලස්ථානයේ සේවයේ නියුතු භටපිරිස් සමඟ සුහද පිළිසඳරක නිරතවූහ.

මෙම සංචාරය අතරතුර ඔවුන් එම මූලස්ථානයේ වෛද්‍ය අංශය, ගබඩා, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු වැඩපළ සහ අනෙකුත් ඒකකයන් නිරීක්‍ෂණය කළහ.

මෙම සංචාරය සමාප්තියේ 14 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරි සහ ශ්‍රී ලංකා දූත පිරිස අතර සමරු තිළිණ හුවමාරුවක් සිදුකෙරිණි.