Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st August 2023 22:07:02 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා ‘අන්තර් ඒකක පිහිනුම් ශූරතාවලිය -2023’ සාර්ථකව අවසන්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා ‘අන්තර් ඒකක පිහිනුම් ශූරතාවලිය -2023’ අවසන් මහා තරඟ සහ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය පසුගිය සිකුරාදා (අගෝස්තු මස 18) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපද පිහිනුම් සංකීර්ණයේදී පැවැත්විණි.

1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරී විසින් උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විනයාරක්‍ෂාධිපති සහ යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී උණුසුම් අයුරින් පිළිගන්න ලද අතර, අනතුරුව එතුමන් අන්තර් ඒකක පිහිනුම් ශූරතාවලිය - 2023 නිල වශයෙන් ආරම්භ කරන ලදී.

විවෘත කාණ්ඩ යටතේ පැවති මෙම පිහිනුම් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ඒකක හතක්, විශේෂ විමර්ශන ඒකකය සහ යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසල නියෝජනය කරමින් නවක සෙබළුන් ඇතුළු එම බලකායේ පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 75 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූහ.

පිහිනුම් ශූරතාවලියේ පිරිමි අංශයේ ශූරතාවය 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පිහිනුම් කණ්ඩායමත්, අනුශූරතාවය 2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පිහිනුම් කණ්ඩායමත් හිමිකර ගනු ලැබූ අතර, පිරිමි අංශයේ දක්‍ෂතම පිහිනුම් ක්‍රීඩකයා ලෙස 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායෙහි සාමාන්‍ය සෙබළ ටී.එම්.එස්.ඩී තෙන්නකෝන් සම්මාන ලැබීය.

අන්තර් ඒකක පිහිනුම් ශූරතාව - 2023, කාන්තා ශූරතාව ගිරිතලේ, යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසලේ පිහිනුම් ක්‍රීඩිකාවන් විසින් දිනා ගන්නා ලදී. ශූරතාවලියේ දක්‍ෂතම පිහිනුම් ක්‍රීඩිකාව ලෙස 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායෙහි ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.එම්.කේ.ඩී බණ්ඩාර සම්මාන හිමිකර ගත්හ.

මේජර් ජෙනරල් ඒ.සී.ඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී විසින් අන්තර් ඒකක පිහිනුම් ශූරතාවලිය සඳහා සහභාගී වූ පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත සිය සුබ පැතුම් එක් කරමින් ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කරන ලදී.අවසන් මහා තරඟය නැරඹිමට සහ ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.