Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th July 2023 13:07:17 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිවාස අවශ්‍යතා සහිත රණවිරුවන් දෙපළක් වෙත නව නිවාස

ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත එම රෙජිමේන්තුවේ රණවිරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා ක්‍රියාත්මක කරනු ලබන නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතීන්හි තවත් එක් අදියරක් ලෙස ඇඹිලිපිටිය සහ කුරුවිට ප්‍රදේශයන්හි ඉදිකරනු ලැබූ නව නිවාස දෙකක් නිවාස අහිමි රණවිරුවන් දෙපළක් වෙත පසුගිය සදුදා (ජුලි මස 24) දින පවරාදෙනු ලැබීය.

නිවාස ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපතිතුමන් නව නිවාස ඉදිකිරීමේ 3 වන ව්‍යාපෘතිය යටතේ ඉදිකරනු ලැබූ එම නිවාස විවෘත කිරීමේ අවස්ථාවන් සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර, එහිදී 7 ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 16 (සෙව්) ශ්‍රී ලංකා පාබල හමුදාවේ රණවිරුවන් දෙපළක් වෙත නව නිවාස පවරාදෙනු ලැබීය.

දරුවන් දෙදෙනෙකුගේ පියෙකුවන 7 ශ්‍රී ලංකා පාබල හමුදා සාමාජිකයෙකු වෙනුවෙන් ඇඹිලිපිටිය කටුවන ප්‍රදේශයේ ඉදිකරනු ලැබූ නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම එම ඒකකයේ භටපිරිස් විසින් ලබාදුන්හ. එමෙන්ම, 16 (සෙව්) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාජිකයෙකු වන එක්දරු පියෙකු වෙනුවෙන් ද කුරුවිට, නිල්ලපිටිය ප්‍රදේශයේ නව නිවසක් මෙම ව්‍යාපෘතියට සමගාමීව ඉදිකරදෙන ලදී. රෙජිමේන්තු මූලස්ථානයේ අරමුදල් සහ ඒකක අරමුදල් මගින් නව නිවාස ඉදිකිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගැනීමේ කටයුතු සිදුකරනු ලැබීය.

ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපතිතුමන්ගේ සහ එම රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ උපදෙස් මත මෙම ව්‍යාපෘතීන් 7 සහ 16 (සෙව්) ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයන්හි අණදෙන නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කෙරිණි.

ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, නිවාසලාභීන් සමග එක්ව ආගමික වතාවත් මධ්‍යයේ එම නිවාස විවෘත කර නිවාසයන්හි යතුරු සහ නිවාස සඳහා අවශ්‍ය භාන්ඩ කිහිපයක් ද ප්‍රතිලාභීන් වෙත ප්‍රදානය කරනු ලැබීය.

නව නිවාස විවෘත කිරීමේ උත්සව අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ එම නිවාස ඉදිකරන ලද සෙසු නිලයින්ද සහභාගී වූහ.