Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th June 2023 09:55:09 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිවාස අවශ්‍යතා සහිත රණවිරුවන් දෙපළක් වෙත නව නිවාස

රණවිරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතීන්හි තවත් එක් අදියරක් ලෙස යුද්ධ හමුදා භටපිරිස්හි ජීවන තත්ත්වය නඟා සිටුවීමට සහ ශාරීරික හා මානසික සුවය ඔප්නැංවීමේ අරමුණින් කටුපිටිය සහ මහවෙල ප්‍රදේශයන්හි ඉදිකරනු ලැබූ නව නිවාස දෙකක් 1 ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 6 ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිවාස අහිමි රණවිරුවන් දෙපළක් වෙත පසුගිය සෙනසුරාදා (24) දින පවරාදෙනු ලැබීය.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබූ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ මෙම නව නිවාස විවෘත කිරීමේ අවස්ථාවන් සඳහා සහභාගී වූවේය.

විවාහ ගිවිසගෙන දරුවන් දෙදෙනෙකු සිටින 1 ශ්‍රී ලංකා පාබල හමුදා සාමාජිකයෙකු වෙනුවෙන් කටුපිටිය ප්‍රදේශයේ ඉදිකරනු ලැබූ නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම එම ඒකකයේ භටපිරිස් විසින් ලබාදුන්හ.

ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපතිතුමන්ගේ උපදෙස් මත 6 ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිවාස අවශ්‍යතා සහිත සාමාජිකයෙකු වෙනුවෙන් ද මහවෙල, පිහිඹූව ප්‍රදේශයේ නව නිවසක් මෙම ව්‍යාපෘතියට සමගාමීව ඉදිකරදෙනු ලැබූ අතර එම යුද්ධ හමුදා සාමාජිකයා විවාහ ගිවිසගෙන සිටින අතර ඔහුට එක් දියණියක් සිටියි. රෙජිමේන්තු මූලස්ථානයේ අරමුදල්, බලඇණි අරමුදල්, ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා අරමුදල් සහ පරිත්‍යාගශීලීන් ලබාදුන් අරමුදල් නව නිවස ඉදිකිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගැනීමට භාවිතා කරනු ලැබීය.

මෙම ව්‍යාපෘතින් 1 සහ 6 ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයන්හි අණදෙන නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කෙරිණි.

ශ්‍රී ලංකා පාබල හමුදා සාමාජිකයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් මෙම විශේෂ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පෙරමුණ ගෙන කටයුතු කළ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ මීට මාස කිහිපයකට ප්‍රථම එම නිවාස විවෘත කිරීමේ අවස්ථාවන් සඳහා සහභාගී වු අතර නිවාසලාභීන් සමග එක්ව ආගමික වතාවත් මධ්‍යයේ එම නිවාස විවෘත කර එම නිවාසයන්හි යතුරු සහ ගෘහ භාණ්ඩ කිහිපයක් ද ප්‍රතිලාභීන් වෙත ප්‍රදානය කරනු ලැබීය.

මෙම නව නිවාස විවෘත කිරීමේ උත්සව අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.