Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th June 2023 18:57:36 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියට

ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ සංකල්පයකට අනුව එම රෙජිමේන්තුව වෙතින් නිවාස අවශ්‍යතා සහිත රණවිරුවන් වෙනුවෙන් නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ලබයි. එම නිවාස විවෘත කිරීමේ උත්සව අවස්ථාවන් සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් නිවාසලාභීන් වෙනුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මෙන්ම නිවාස ඉදිකරදීම සඳහා නන් අයුරින් දායකත්වය දැක්වූ භටපිරිස් වෙනුවෙන් විශේෂ ත්‍යාගයන් ද පිරිනැමීය.

මෙම නව නිවෙස් විවෘත කිරීමේ උත්සව අවස්ථාවන් සඳහා 213 පාබල බලසේනාවේ බලසේනාධිපති, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, ව්‍යාපෘතීන් සඳහා භටපිරිස් යෙදවූ ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයන්හි අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් ද සහභාගී වූහ. යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා පාබල හමුදාව වෙතින් එම රෙජිමේන්තුවේ නිවාස අවශ්‍යතා සහිත රණවිරුවන්ගේ සුබසාධනය උදෙසා ඒකක මට්ටමින් නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතින් ක්‍රියාත්මක කරමින් සිටින අතර ඊට සමගාමීව අනුරාධපුර ප්‍රදේශයේ ඉදිකරනු ලැබූ මෙම නව නිවාස පසුගිය බ්‍රහස්පතින්දා (08) දින පැවති උත්සවයන්හිදී විවෘත කරනු ලැබීය.

මෙම උත්සවයන් අතරතුරදී, ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් නිවාසලාභීන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් වෙත නව නිවාසයන්හි යතුරු භාරදෙනු ලැබීය.

නිවාස අවශ්‍යතා සහිත ශ්‍රී ලංකා පාබල හමුදාවේ සියලුම සාමාජිකයන්ට නව නිවෙස් ඉදිකරදීමේ අරමුණින් එම රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරනු ලබන නිවාස ඉදිකරදීමේ වැඩසටහනේ තෙවන අදියර යටතේ එම රෙජිමේන්තුවේ සියලුම ඒකකයන්හි තෝරාගත් සාමාජිකයෙකු වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙනු ලබයි.

මෙම ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර, නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි 23 ශ්‍රී ලංකා පාබල හමුදාවේ කොමිෂන් නොලත් නිලධාරියෙක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා එම ඒකකයේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එන්.අයි.පී.කේ. ගමගේ ගේ අධීක්‍ෂණය සහ මඟපෙන්වීම මත ඔහුගේ ඒකකයේ භටපිරිස් සිය ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම ලබාදුන්හ. නිවාසලාභී කොමිෂන් නොලත් නිලධාරියා විවාහකයෙකු වන අතර ඔහුට පාසල් අධ්‍යාපනය ලබන දියණියන් දෙදෙනෙකු සහ එක් පුතණුවෙකු සිටියි.

14 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස්හි දායකත්වය මත වැලිඔය, ඇතාවැටුණුවැව ප්‍රදේශයේ ඉදිකරනු ලැබූ එවැනිම තවත් නව නිවසක් වසර 15 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කළ දරුවන් තිදෙනෙකු සිටින රණවිරුවෙකු වෙත පසුගිය සිකුරාදා (09) දින භාරදෙනු ලැබීය. මෙම නව නිවස විවෘත කිරීමේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.

14 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී මේජර් කේ.බී. අත්තනායක ගේ උපදෙස් මත එම ඒකකයේ භටපිරිස් නව නිවස ඉදිකිරීම සඳහා සිය ශ්‍රම දායකත්වය, ඉංජිනේරු සහ තාක්‍ෂණික දැනුම ලබාදුන්හ.

වසර 14 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කළ අනුරාධපුර, මහදංගස්වැව ප්‍රදේශයේ පදිංචි 5 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙනුවෙන් ඉදිකළ නව නිවසක් පසුගිය බ්‍රහස්පතින්දා (08) දින එම නිවාසලාභියා වෙත පවරාදෙනු ලැබීය. විවාහ ගිවිසගෙන සිටින ඔහු එක් දියණියකගේ පියෙකු වේ. සිය ඒකකයේ අණදෙන නිලධාරි මේජර් යූ.එම්.ටී.සී. ධර්මසිරි ගේ උපදෙස් මත එම ඒකකයේ භටපිරිස් නව නිවස ඉදිකිරීම සඳහා ඔවුන්ගේ ශ්‍රම දායකත්වය, ඉංජිනේරු සහ තාක්‍ෂණික දැනුම ලබාදුන්හ.