Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th July 2023 23:01:45 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේ සුභසාධන පහසුකම් තවදුරටත් පුළුල් කරමින් එම රෙජිමේන්තුවේ භටපිරිස් සඳහා නව භඨනිවාසයක්

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන සුභසාධන පහසුකම් තවදුරටත් පුළුල් කරමින් භටපිරිස් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරනු ලැබූ නව භඨනිවාසයක් පසුගිය දා විවෘත කරනු ලැබීය. ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ රෙජිමේන්තු සැරයන් මේජර් නිවස්නය, නව පරිපාලන සංකීර්ණය සහ භඨනිවාසය ද පසුගිය සෙනසුරාදා (ජුලි මස 08) දින පැවති කෙටි උත්සවයකදී විවෘත කෙරිණී.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් සෙසුනිලයන් වෙනුවෙන් ප්‍රතිසංස්කරණය කර නවීකරණය කරන ලද භඨනිවාසය විවෘත කරනු ලැබීය. වර්ෂ 1950 දී ඉදිකරන ලද මෙම දෙමහල් නවාතැන් සංකීර්ණය රෙජිමේන්තු අධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත අදියර කිහිපයක් යටතේ ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරනු ලැබීය. මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම මත ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේ භටපිරිස් මෙම ව්‍යාපෘතිය සඳහා සිය ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම ලබාදුන්හ. මෙම උත්සවයට සමගාමීව එම රෙජිමේන්තුවේ දිගුකාලීන අවශ්‍යතාවයක් සපුරාලමින් ඉදිකරනු ලැබූ නව තෙමහල් පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය ද විවෘත කෙරිණී. මෙම ගොඩනැගිලි සංකීර්ණය සම්මන්ත්‍රණ ශාලාවක් ඇතුළු සියලුම නවීන පහසුකම් වලින් සමන්විත වේ. එහිදී, ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් සමරු ඵලකය නිරාවරණය කර පීත්ත පටිය කපා නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කරනු ලැබීය.

උත්සවයේ තවත් එක් අදියරක් ලෙස ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකළ නව රෙජිමේන්තු සැරයන් මේජර් නිවස්නය එම රෙජිමේන්තුවේ රෙජිමේන්තු සැරයන් මේජර් බලළත් නිලධාරී අයි.ජී.වී. කුමාර වෙත නිල වශයෙන් භාරදෙනු ලැබීය. මෙම නිවස්නයේ ඉදිකිරීම් කටයුතු ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ සහ ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින් සිදුකරන ලදී. උත්සවයේ දෙවන අදියර ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානිතුමන් බූස්ස ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා පාබල හමුදා පුහුණු මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද නව උත්සව ශාලාව විවෘත කරනු ලැබීය. මෙම උත්සව ශාලාව තුළ මංගල උත්සව සහ අනෙකුත් උත්සව අවස්ථාවන් පැවැත්වීමේ හැකියාව පවතී. පුද්ගලයන් 90 දෙනෙකුට පහසුකම් සැලසෙන මෙම උත්සව ශාලාවේ ඉදිකිරීම් කටයුතු වර්ෂ 2015 දී ආරම්භ කෙරිණී.

මෙම සියලුම සුභසාධන ව්‍යාපෘති යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, ශ්‍රී ලංකා පාබල හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්.පී.එස්.පී. කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහ ශ්‍රී ලංකා පාබල හමුදා නිලධාරීන්ගේ සංකල්පයකට අනුව ආරම්භ කෙරිණි. බූස්ස ප්‍රදේශයේ පැවැති මෙම වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා අඥාපති - යාපනය මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයු පීඑස්සී, 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ, රෙජිමේන්තු මාණ්ඩලික නිලධාරීන්, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව යටතේ පාලනය වන ඒකකයන්හී අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.