Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th April 2024 14:43:08 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ නව නිලධාරි නවාතැන් පහසුකම් සංකීර්ණය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කෙරේ

කුරුණෑගල, හෙරලියාවල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ නව නිලධාරි නවාතැන් පහසුකම් සංකීර්ණය 2024 අප්‍රේල් මස 10 දින පැවති උත්සවයකදී විවෘත කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය සහභාගී වූහ.

මෙම අවස්ථාව සඳහා සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.ඒ. කීර්තිනාථ ආර්එස්පී කේඑස්පී පීඑස්සී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් ‘Green View Reserve’ නමින් හැඳින්වෙන නව නිලධාරි නවාතැන් පහසුකම් සංකීර්ණයේ සමරු ඵලකය නිරාවරණය කර විවෘත කිරීමෙන් අනතුරුව එහි නිරීක්‍ෂණ සංචාරයක ද නිරතවිය. මෙම නවීන නිලධාරි නවාතැන් පහසුකම් සංකීර්ණය එම රෙජිමේන්තු නිලධාරීන් සඳහා අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විත කාමර 15 කින් සමන්විත වේ. ව්‍යාපෘතිය සඳහා වෙන්කළ ප්‍රතිපාදන පමණක් භාවිතා කරමින් එම ව්‍යාපෘතිය කාර්යක්‍ෂමව නිමකිරීම පිළිබඳ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක් වූ අතර භටපිරිස්හී කැපවීම වෙනුවෙන් ද සිය කෘතඥතාවය පුදකළේය.

නව නිලධාරි නවාතැන් පහසුකම් සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් ‘Mountain View’ ගොඩනැගිල්ලේ දෙවන මහලේ සිදුකරනු ලබන ඉදිකිරීම් කටයුතු පිළිබඳව ද නිරීක්‍ෂණය කළේය.