20th April 2025 12:55:38 Hours
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 137 වන සංවත්සර දිනය මව්බිම වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ට උපහාර දක්වමින් 2025 අප්‍රේල් මස 19 දින එම රෙජිමේන්තු මූලස්ථානයේදී සමරනු ලැබීය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP psc ගේ ආරාධනයෙන් සහභාගි විය.
හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනැමීමෙන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් රෙජිමේන්තු මූලස්ථානයේ ප්‍රධාන දොරටුවේ අලුතින් ඉදිකරන ලද මුරහල නිල වශයෙන් විවෘත කරන ලදී. පසුව, රණවිරු ස්මාරකය අභියසදී රණවිරු අනුස්මරණ උත්සවයේ වැඩකටයුතු ආරම්භවිය.
ජාතික ගීය සහ යුද්ධ හමුදා ගීය ගායනා කිරීමෙන් අනතුරුව, මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිපත් කරමින් සර්ව ආගමික වතාවත් සිදු කිරීමෙන් පසුව, උත්සවයේ වැඩකටයුතු ආරම්භ විය. එහිදී රණවිරුවන්ගේ උත්තරීතර පරිත්‍යාගය සිහිපත් කරමින් පැමිණ සිටි සියලු දෙනා විසින් මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලදී.
ඉන්පසුව, යුද්ධ හමුදාධිපතිතුමන්, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සෙසු නිලයන් සහ මියගිය රණවිරුවන්ගේ පවුලේ සාමාජිකයන් සමඟ එක්ව රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහර දැක්වූහ. හිරු නැගෙනා මොහොතෙදිත් හිරු බසිනා මොහොතෙදිත් රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් වෙනුවෙන් හමුදා සම්ප්‍රදායානුකුලව වැයෙන යුද්ධ හමුදා බියුගල් නලාකරුවන්ගේ අවර රණවිරු අනුස්මරණ බියුගල් නාදයෙන් පසුව අවිදිව සිටි මුර සෙබළුන් රණවිරු ස්මාරකය වෙතින් බැස යන ලදී.
අනතුරුව, පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයේදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් යුද්ධ හමුදා සමාජිකයන් සහ මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සමඟ සුහඳව අදහස් හුවමාරු කරගන්නා ලදී. පසුව යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂ අමුත්තන්ගෙ පොතේ සටහනක්ද තැබීය. සංවත්සරයේ වැදගත්කම සනිටුහන් කරමින් උත්සවය අවසානයේදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට වර්ණ වාහනය භාර දෙන ලදී.